
(නාඋල - ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජලාශයට යටවන නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මිල්ලගහමුල තැන්න - හයේ කනුව ප්‍රදේශයේ පවුල් දෙකකට අයත් හය දෙනෙක් පදිංචිය සඳහා ඉඩම් නොලැබීම හේතුවෙන් තමන් සිටින ස්ථානයෙන් ඉවත් නොවන බව පවසති.
ජලාශයට ජලය පිරිමත් සමග අඹන් ගඟේ ජල මට්ටම ඉහල යෑම හේතුවෙන් සිය නිවෙස් ආසන්නයටම අඹන්ගඟේ ජලය පිරි ඇති බව ඔවුහු පවසති.
එම පවුල් දෙක රැදී සිටින නිවාස දෙක ආසන්නයට අඹන්ගඟේ ජලය ලගාවෙමින් තිබෙනු මේ වනවිටත් දක්නට තිබේ.
ජලාශයට යටවන මිල්ලගහමුල තැන්න ප්‍රදේශයේ පදිංචි පී.ජි. අජිත් කුමාර සෙනවිරත්න මහතා (40) කියා සිටියේ ජලය නිවස ආසන්නයට පැමිණ ඇතැත් නිවසක් සදා ගැනීමට ඉඩමක් තමන්ට ලැබී නොමැති බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ සිය ප්‍රදේශයේ පිරිසක් පෙත්සමක් මහවැලියට යොමුකිරීම හේතුවෙන් තමන්ට ඉඩමක් අහිමිවූ බවයි.
මේ වන විට ප්‍රදේශයේ විදුලිය විසන්ධි කර ඇති බවත් ප්‍රදේශයට වන අලි පැමිණිය හැකි බවත් ඔහු වැඩිදුරටත් කීවේය.
මෙවැනි අවදානම් තත්ත්වයක් පවතින මොහොතක සිය අසරණ භාවය පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානයය යොමු විය යුතු බව ද හෙතෙම පවසයි.
නිවස ජලයෙන් යටවුවහොත් අඹන්ගඟට පැනිම හැර වෙනත් විසඳුමක් නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අඹන්ගඟ ආසන්නයේ පිහිටා ඇති මෙම නිවාස දෙකෙහි දැනට ඩී.එම්.රන්මැණිකා (85) ඩබ්ලිව්.අයි. ගයනි දීපසිකා(33) පී.ජි.ලලිත් බණ්ඩාර(45)පී.ජි.පමුජිකා විරාජි බණ්ඩාර(05) අන අය රැඳී සිටිති.
මෙම නිවාස දෙකෙහි ජීවිත්වන පිරිස පිළිබඳ සොයා බැලීම සඳහා පැමිණි නාඋල ජන අයිතීන් සුකීමේ සංවිධානයේ කැඳවුම්කරු හා ජනතා විමුක්ති පෙරමුණේ නාඋල සංවිධායක ආර්. ඒ . ඩී . ජයතිලක මහතා කියා සිටියේ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ වෙනත් පිරිසක් භුක්ති විදිද්දි ජලාශයට ඉඩම් දන්දුන් පිරිසක් අසරණ වී ඇති බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආර්.ඒ.ඩී. ජයතිලක මහතා මෙසේ ද කීය.
“ අද වෙනකොට මහවැලි ඇමතිතුමා වෙලා ඉන්නේ ජනාධිපතිතුමා. එතුමගේ බලාපොරොත්තු අද ඉටුවෙලා තියෙනවා. මේ ප්‍රදේශයේ ජනතාවගේ සුබ සිද්ධියට අපි නාඋල ජන අයිතීන් සුරැකීමේ සංවිධානය හදලා මේ ගැටළු වලට මැදිහත් වුනා.
මේ අඹන්ගඟ අද උතුරලා යනවා මේ ගෙට තව තියෙන්නේ මීටර් දහයක පමණ දුරක් විතරයි ජලය එන්න. මේ ගෙවල් දෙකේ පවුල්වල සාමාජිකයෝ හයක් ඉන්නවා මේ වෙනකම් බලධාරීන් මේ තත්ත්වය තුට්ටුවකට ගනන් අරන් නැහැ.
මේ ව්‍යාපෘතිය ජනතාවාදී ව්‍යාපෘතියක් බවට පත්කරන්න නම් ජනාධිපතිතුමා ඇතුළු බලධාරින්ට කරන්න තිබුනේ ජලාශය හදන්න ඉස්සරලා මේ ජනතාව අයින් කරලා ඉන්න.
මේ තියන වැසි තත්ත්වයත් එක්ක අඹන් ගඟේ ජලය ඉහල යනවා. ඒ කියන්නේ මේ ජනතාව අනතුරට ලක්වෙනවා ඒ වගකීම අදාල බලධාරින් අරගන්න ඕනේ ” යැයි ද ජයතිලක මහතා පැවසීය.
|
භූමියේ වටිනාකමට ලක්ෂ 60ක් දුන්නා ප්‍රදේශයේ පිරිස් හා සිවිල් සංවිධාන නගන මෙම චෝදනා සම්බන්ධයෙන් අපි මොරගහකන්ද වාරි ව්‍යාපෘතියෙන් විමසීමක් කළෙමු. එහි දී අදහස් දැක්වු එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ඉවත්ව නොයන පවුල් දෙක පදිංචිවී සිටින භූමියේ වටිනාකමට රුපියල් ලක්ෂ 60ක වන්දි මුදලක් ගෙවා ඇති බවයි. ඊට අමතරව ඉඩම් ලබාදීම් සම්බන්ධයෙන් පැවති පරික්ෂණ කටයුතු සඳහා එම නිවෙස් වල පදිංචි පවුල් සහභාගී වී නොමැති බවයි. කෙසේ වෙතත් ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන කිසිදු පුද්ගලයෙකුට අසාධාරණයක් කිරීමට රජයට අවශ්‍යතාවක් නොමැති බවත් තමන් විමසීම කරන අවස්ථාව වන විට ව්‍යාපෘති කාර්යාලයෙන් බැහැරව සිටින බවත් සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් සිය ව්‍යාපෘතියේ ඉහල නිලධාරීන් දැන්වත් කරන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය. |








