මොරගහකන්ද -කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන්වුවන්ට මිලියන 7000 ක වන්දියක්


 


(ඉන්දික අරුණ කුමාර)

මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය  නිසා  මේ වන විට අවතැන් වී ඇති පවුල් 3500 ටක ආසන්න ප‍්‍රමාණයකට රුපියල් මිලියන 7000 ක වන්දි ලබා දී ඇතැයි ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගල්පෝරුගොල්ල, තලාගොඩ,කෝන්ගහවෙල, කඹරව හා ඇළගමුව ග‍්‍රාම නිලධාරි වසම් වල පදිංචිකරුවන්  ව්‍යාපාතිය හේතුවෙන් ඉවත් කර තිබේ.

වන්දි මුදල් වලට අමතරව නැවත පදිංචි කිරීම් යටතේ කළුගඟ පහල නිම්න ප‍්‍රදේශයේ මෙන්ම නාඋල කොටමාපාය ප‍්‍රදේශයන්ට අවශ්‍ය යටිතල පහසුකම් ද සකසා අවසන් බව අප කළ විමසීමක දී මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා සඳහන් කළේය.

අවතැන් වූවන් වෙනුවෙන් ඉදිවු ලග්ගල නව නගරය මෙන්ම එම ප‍්‍රදේශවල ඉදිකර ඇති සියළු පොදු ස්ථානවල වැඩ කටයුතු මේ වන විට අවසන් බව ද දයානන්ද මහතා පැවසීය. මීට අමතරව නැවත පදිංචිකරුවන්ගේ  ආර්ථිකය  ශක්තිමත්  කිරීම සඳහා අවශ්‍ය කර්මාන්ත තාක්ෂණික දැනුම, වෘත්තීය පුහුණු මෙන්ම මොරගහ කන්ද ජලාශය ආශ‍්‍රිතව මිරිදිය ධීවර කර්මාන්තය සඳහා සමිති පිහිටුවීම වැනි කටයුතු ද සිදුකර තිබේ.

මීට අමතරව කළුගඟ ජලාශයේ සිට මොරගහකන්ද ජලාශයට ජලය සැපයෙන උමගේ වැඩ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව දයානන්ද මහතා සඳහන් කළේය.