මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි ඇමැති සමයේ 2005 දී පොළොන්නරුවේදී ක්ලේමෝ බෝම්බ අටවා ඝාතනය කිරීමට තැත් කළ කොටි සාමාජිකයාට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු අමේන්ද්‍ර සෙනෙවිරත්න මහතා බරපතල වැඩ සහිත 10 වසරක සිර දඬුවමක් හා රුපියල් 10,000ක දඩයක් නියම කළේය.
යාපනය, අච්චුවේලි කෝවිල්අඩියේ සිවරාජා ජෙනිවන් නොහොත් මොහම්මදු සුල්තාන් කාදර් මොහිදීන් නොහොත් සේනන් (30) නමැති කොටි සාමාජිකයාට මිය ගිය ඩබ්ලිව්.එම්.ප්‍රේමසිරි හා මුරලි නමැත්තන් සමග එක්ව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා 2005 දෙසැම්බර් හා 2006 ජනවාරි කාලය අතරතුරදී මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවට මෙම දඬුවම් නියම කෙරිණි.
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් කැඩී ඒමෙන් පසු ඔහුට උදව්කරන අය ඝාතනය කිරීමේ සැලැස්ම යටතේ හිටපු ඇමැති හා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කොටි නායකයන් නියම කර ඇත. අටවන එක් ක්ලේමෝ බෝම්බයක් වෙනුවෙන් රුපියල් 10,000ක් ගෙවීමටද සැලසුම් කළ බව අනාවරණය විය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ චේතිය ගුණසේකර මහතා පෙනී සිටියේය.

