මෛත්‍රීගේ වේදිකාවට වෙඩි තැබූ අවි - උණ්ඩ නොගැළපෙයි


(අජිත්ලාල් ශාන්තඋදය)

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට කළ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව යොමු කළ හිස් පතොරොම් හය සිද්ධීයට අත්අඩංගුවට ගෙන ඇති ගිනි අවිවලින් නිකුත් වූ ඒවා නොවන බව රජයේ නියෝජ්‍ය රස පරීක්‍ෂක පී. ගාමිණී මඩවල මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා ඉදිරියේ අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී ය.

රත්නපුර කහවත්ත නගරයේ දී 2015 ජනවාරි 05 වැනි දා හෝ ඊට ආසන්න දිනයක දී  ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයකුව සිටි මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස පැවැත්වූ රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩි තබා තිබිණි.

අධිචෝදනා නවයක් අනුව විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකරනු ලැබ තිබුණි.

මෙසේ අධිචෝදනා ලබා සිටින්නේ සබරගමු පළාත් සභාවේ වත්මන් මන්ත‍්‍රී අරුණ නිලන්ත ජයසිංහ, කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා, වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හල්කඳලිය ලේකම්ලාගේ පේ‍්‍රමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී, පැලවත්තගේ පැතුම් ධනංජය නොහොත් පැලා, උඩහදා සීලගේ අසංක නාමල් නොහොත් සාජන්ටූ, උක්කන්දගේ තිලංක ප‍්‍රදීප්, ඌරුපැලැව්වේ ගමඇතිරාළලාගේ අජිත් මලවි ගුණරත්න නොහොත් මලවි යන හත්දෙනාය.
 
වැඩිදුර සාක්කි විමසීම හෙට (11) දක්වා කල් තැබිණි.