මෛත්‍රී ගුණරත්නගේ පාගමනට ආ වාහනයේ ගිනි අවි දෙකක් සහ කුරුඳු පොලු තොගයක්


චමිල් රූපසිංහ

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සංවිධානත්වයෙන් මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා පාගමනේ ප්‍රථම අධියරට සහභාගිවීම සඳහා එම පක්ෂයේ නායක මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු පිරිසක් පැමිණි බව කියන ජීප් රථ දෙකක තිබී ඩබල් බැරල් වර්ගයේ ගිනි අවි දෙකක් හා කුරුඳු පොලු 98 ක් කඩුගන්නාව හා පේරාදෙණිය පොලිසිවල නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (31) දහවල් සොයා ගනු ලැබ තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව කියමින් අදාළ විරෝධතා පාගමන අද (31) පෙරවරුවේ ගැටඹේ ප්‍රදේශයෙන් ආරම්භ විය. එම අවස්ථාවට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු 100ක් පමණ සහභාගී වී සිටියහ.

පාගමනට සම්බන්ධවූ පිරිස් පැමිණි බව කියන ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ඊරියගම ප්‍රදේශයේ නවතා තිබියදී පොලීසිය පරීක්ෂාවට ලක්කර තිබෙන අතර එහි තිබී අඩි 04 ක පමණ දිගින් යුත් කුරුඳු පොලු 98 ක් පොලීසිය සොයා ගෙන ඇත. එම කුරුඳු පොලු කුමක් සඳහා රුගෙන ආවේද යන්න පිළිබඳව රියදුරුට පැහැදිලි ප්‍රකාශයක් ලබා දීමට නොහැකි වීම නිසා පේරාදෙණිය පොලීසිය මගින් ඔහු  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ජීප් රථය මෛත්‍රී ගුණරත්න මහතාගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර තිබෙන බව පොලීසිය පවසයි.

කොඩි කණු ලෙස භාවිත කරන්නට මෙම කුරුඳු පොලු   ලෙස රුගෙන ආ බව ඔවුන් සදහන් කළ අතර  ඒවායේ රුඳවීමට සිටින බව කියන කොඩි පෙන්වීමට ඔවුන්ට නොහැකිවූ බව පොලිසිය කියයි. 

මේ අතර පාගමන සමඟ යමින් තිබූ තවත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් තිබී ඩබල් බැරල් වර්ගයේ ගිනි අවි දෙකක් හා ජීව උණ්ඩ 10 ක් පොලීසිය සොයා ගෙන ඇත. එම ගිනි අවි සඳහා බලපත්‍ර ඇති බව මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළ බව පොලීසිය පවසයි.

අදාළ ගිනි අවි බලපත්‍ර පොලීසියට ඉදිරිපත් කරන ලෙස පොලීසිය මෛත්‍රී ගුණරත්න මහතාට දැනුම් දී තිබේ.