මේක මැතිවරණ නොපවත්වන කොමිසමක්


(විනීතා එම් ගමගේ)

කොවිඩි -19 වයිරසය පැතිරයාම බිංදුව වන තෙක් මැතිවරණය පැවැත්වීම කල් දැමීමට පියවර ගෙන ඇතිි මැතිවරණ කොමිසම රනිල්, -සජිත්, අනුර, -හකීම් කල්ලියට පරාජයේ විලිවසා ගැනීමට උපකාර කරමින් ‘මැතිවරණ නොපවත්වන කොමිසමක්’ බවට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ  ප්‍රචාරක ලේකම් මොහමඞ් මුසම්මිල් මහතා ප‍්‍රකාශ කළේය.
 
කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට සිදුව ඇති අපහසුතා ගැන කිඹුල් කඳුළු හෙළමින් යළිත් ගල් පැලෙන බොරු සමාජගත කරමින් සිටින ජවිපෙ නායක අනුර දිසානායක එ් හරහා තම පක්ෂයට අවසන් වරට මැතිවරණයක දී ලැබුණු සියයට 3ක ඡන්ද ප‍්‍රතිශතය රැක ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව ද හෙතෙම කියා සිටියේය.
 
පළාත්  පාලන මැතිවරණය වසර එකහමාරකින් කල්දැමූ, පළාත් සභා මැතිවරණය වාෂ්ප කර දැමු රනිල් සජිත් - අනුර - හකීම් කල්ලිය කොවිඞ් වෛරසය පෙරට දමමින් තමන්ගේ මැතිවරණයකට යාමට ඇති බිය වසා ගැනීමට හදන බවත් එ් සඳහා දැන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ නීතිමය වෙට්ටු උපයෝගී කර ගනිමින් සිටින බවත් ඔහු සදහන් කළේය.
 
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුසම්මිල් මහතා මේ  බව කියා සිටියේය.
 
තම පාලන කාලය තුළ ජනතාවට ලබා දුන් කිසිවකුත් නොමැති නිසා මෙම රනිල් - සජිත් අනුර - හකීම් හවුල ජනතාව ඉදිරියට යාමට නොහැකිව බියෙන් සලිතව සිටින බවත් එ් බිය නිසාම ඔවුන් පසුගියදා සජිත් පක්ෂයේ අපේක්ෂකයෙකුගේ පුත‍්‍රයකු ලවා ඡුන්දය කල් දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරවා ඇති බවත් මුසම්මිල් මහතා කීය.
 
කොවිඞ් - 19 වසංගතය ලොව පුරා පැතිර ගොස් ඇති බවත් එය නිම වන දිනයක් කිසිවෙකුටත් පැවසිය නොහැකි නිසා සෞඛ්‍යාරක්ෂිතව ලෝකවාසීන්ට තම ආර්ථික - සමාජ ක‍්‍රියාකාරකම් පවත්වාගන්නා අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාකාරකම් ද පෙර පැවති තත්ත්වයන්ගේ යම් වෙනසක් සහිතව පවත්වාගෙන යාමේ අභියෝගය මතුව ඇති බවත් ජනිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
 
මැතිවරණ කොමිසම කැඳවා තිබූ රැස්වීමකදී මහා මැතිවරණය සඳහා යළි නාමයෝජනා කැඳවන ලෙසට අනුර දිසානායක කළ ඉල්ලීම පිටුපස ඇත්තේ රනිල්, - සජිත් දෙපිලට යළි එක්ව නාමයෝජනා ඉදිරිපත් කිරීමට ඉඩකඩ සලසා දී තම පක්ෂය පාර්ලිමේන්තුවේ පස්වැනි තැනට වැටීමෙන් ගැලවීම බවත් පෙන්වා දුන් මුසම්මිල් මහතා, ජවිපෙට එවැනි පටු උවමනාවන් මිස කිසිදු ජනතාවාදී උවමනාවක් නොමැති බවත් සඳහන් කළේය.