(මුදිතා දයානන්ද)
ඉන්ධන මිල ඉහළ යාම හා බඩු මිල ඉහළ දැමීමට එරෙහිව තම පක්ෂය දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් රට පුරා පවත්වන බවත් එහි ආරම්භක උද්ඝෝෂණය හා පාගමන මැයි 22 වැනිදා පස්වරු 3.00ට කොළඹ කොටුවෙන් ආරම්භ කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩ්. ලාල්කාන්ත මහතා අද (15) පැවසීය.
ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වන අතර තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
‘ආණ්ඩුව, දේශපාලන පක්ෂ , විවිධ සිවිල් සංවිධාන, මාධ්‍ය ආයතන මේ කවුරු මොන විදිහේ පැහැදිලි කිරීම් කළත් නොකළත් කඩපොළට ගිහින් බඩු ගත්තාම ඕනම කෙනෙකුගේ පොකට්ටුවට දැනෙනවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා කවුරු කොහොම පම්පෝරි ගැහුවත් අපි තමයි ආර්ථිකය හැදුවේ කියලා බදු බරයි, බඩු මිල වැඩිවීමයි ගැන ජනතාවගේ පසුම්බියට බොරු කරන්න ඒ කාටවත් බැහැ.
මේ ආණ්ඩුව හරියට බූරුගහන්න පුරුදු වුණ බේබදු තාත්තෙක් වගේ. හම්බ කරන්නෙත් නැහැ. අනෙක් අය හම්බකරන එක ඉතුරු කරන්නෙත් නැහැ. මේක නතර කළ හැක්කේ පාරට බැහැලා උද්ඝෝෂණ කරලා ආණ්ඩුව දණගස්සලා බඩුමිල හා බදුබර අඩුකර ගැනීමකින් පමණයි. එක්කෝ ආණ්ඩුව මේක දාලා යන්න ඕන. නැත්නම් බදු බර ඉවත් කරන්න ඕන. මේ දෙකෙන් එකක්වත් කරන්න ආණ්ඩුව සූදානම් නැත්නම් ඔවුන් ගෙදර යවන්න ඕන. ආණ්ඩුව දාලා යන කල් අපේ විරෝධය විවිධාකාරයෙන් ගෙන එනවා.‘