මෙවර ලෝක සෞඛ්‍ය දිනය ලංකාවේ



 
( තිළිණි ද සිල්වා )

මේ වසරේ ලෝක සෞඛ්‍ය දිනය ශ්‍රී ලංකාවේ සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය  තීරණය කළ බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලයේ 142 වැනි සැසිවාරයේ දී  මේ පිළිබඳව නිවේදනය කර ඇති බව ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ඇඩනොම් විසින් මේ පිළිබඳව නිල වශයෙන් ජිනිවාහිදී නිවේදනය කර තිබේ. ශ්‍රී ලංකාව තුළ දිගු කාලයක සිට මහජනතාවට නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාදීම අගය කිරීමක් වශයෙන් මෙවර ලෝක සෞඛ්‍ය  දිනය ශ්‍රී ලංකාවේ සැමරීමට තීරණය කළ බව ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කළ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. 

සෑම වසරකම අපේ‍්‍රල් 7 වැනි දා ලෝක සෞඛ්‍ය දිනය සැමරෙන අතර මෙවර එහි තේමාව ලෙස  විශ්වීය සෞඛ්‍ය ආවරණය යන්න නම් කිරීමට නියමිතව ඇත. 

ලෝක සෞඛ්‍ය  සංවිධානයේ විධායක මණ්ඩලයේ 142 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විධායක මණ්ඩල සාමාජිකයකු ලෙස සහභාගී වී සිටියි.

මීට අමතරව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ,සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ,ජාතික දුම්කොළ හා මධ්‍යසාර අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් ඇතුළු රජයේ සෞඛ්‍ය බලධාරීන් රැසක් සහභාගී වූහ.