මෙරටට ගෙන්වු ටින් මාළු කන්ටේනර්යක පරපෝෂිතයින්


ජේ.කේ.එල්.චාමින්ද

මෙරටට  ගෙන්වනු ලැබූ ටින්මාළු කන්ටේනර් කිහිපයක සාම්පල් ශ්‍රි ලංකා සත්ත්ව පරික්ෂණාගාරයේ පරික්ෂා කිරිමේ දි ඇතැම් ටින් මාළුවල පරපෝෂිතයින් සිට බවට අනාවරණය වු බව සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ගාල්ල කරාපිටිය   ශික්ෂණ රෝහලේ නිරික්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  මේ බව ප්‍රකාශ කළේය.

ඇතැම් ටින්මාළුවල  මියගිය  පණුවන් සිටි බව සඳහන් කළ  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා  ඒ පිළිබඳ නිරික්ෂණය කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර බලධාරියා වශයෙන්  තම කාර්ය මණ්ඩලය හා වරාය කාර්ය මණ්ඩලය එක්වි එම ටින් මාළු අඩංගු කන්ටේනර්  නැවත එම රටවලට පිටත්කොට යැවීමට කටයුතු කළ බවද සඳහන් කළේය.

එම ටින් මාළු මෙරට වෙළදපොළට පැමිණ නැති බව සඳහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා   ඉන් නොනැවති  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින්  මේ දිනවල වෙළදපොළේ තිබෙන ටින් මාළුවල  තත්ත්වය පිළිබඳ වරින්වර සාම්පල් ගෙන පරික්ෂා කරන බවද සඳහන් කළේය.

විද්‍යාත්මකව බැලූවිට පරපෝෂිතයින් සිටින  ටින් මාළු ආහාරයට ගැනීමෙන්   සෞඛ්‍යයට අහිතකර බවක් නොමැති බව ප්‍රකාශ කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා  එහෙත් එය අප්‍රියජනක බවත්  ජනතාවට අප්‍රිය ජනක දෙයක් ලබාදීමට  නොහැකි බවත් මේ නිසා ටින්මාළු ඇසුරු සියලුම කන්ටේනර් එම රටවලට පිටත්කොට යැවීමට කටයුතු කළ බවද සඳහන් කළේය.