මෙගා සතොස විවෘත වෙයි


 (ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ ප‍්‍රථම මෙගා ස.තො.ස ශාඛාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් අද(5) වැලිසර දී විවෘත කෙරිණි.

සුපිරි වෙළඳසලක ස්වභාවයෙන් සතොස ශාඛා පවත්වාගෙන යාමේ අරමුණින් මෙම මෙගා ශාඛා විවෘත කෙරෙන අතර මෙම වසර අවසන් වන විට දිවයින පුරා එවන් ශාඛා 500ක් විවෘත කිරීම රජයේ අරමුණ වී තිබේ.

මෙහිදී අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා  පැවසුවේ දේශගුණය වෙනස්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස නිවසේ අයවැයට වැදුණු පහර බොහෝ දුරට අඩු කළා මෙන්ම ජාතික ආර්ථිකයට වැදී තිබූ පහරත් අඩුකිරීමට රජයට හැකිවී ඇති බවයි.

මෙම වසරේ සිට විදේශ හා ජාතික පුද්ගලික ආයෝජන මගින් රටේ සංවර්ධනය මීට වඩා වේගවත් කිරීමට පියවර ගන්නා බව කී අගමැතිවරයා ඒ සියල්ල කරන අතර ජනතාවට සාධාරණ මිලක් යටතේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමේ අරමුණින්ද රජය ඉවත් නොවන බව කීය.