(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ විදේශ මුදල් රටෙන් පිටවීම සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් අද (2) නිකුත් කරනු ලැබීය.
එම නිවේදනයේ දැක්වෙන අන්දමට මෙම තීරණය අදාළ ගැසට් නිවේදනය නිකුත් කර මාස 6 ක කාලයක් සඳහා බල පැවැත්වෙනු ඇත.
රටේ මූල්‍ය ස්ථාවරතාව තහවුරු කිරීම සඳහා රජය මෙම තීරණය ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ අංක 22 වැනි වගන්තිය යටතේ වන නියමය අනුවය.
මේ අනුව සංක්‍රමණික දීමනාව යටතේ මෙරට සිටින විදේශිකයන්ට ඔවුන්ගේ රටවල්වලට අරමුදල් යැවීම සීමා කෙරෙනු ඇත.
මෙරට සිටින විදේශිකයකු පවුලේ සාමාජිකයෙකුගෙන් මුදල් ත්‍යාග ලෙස ලබන අරමුදල්වලින් සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් ආපසු පිටරට යැවීමද මෙම ගැසට් නිවේදනය මගින් අත්හිටුවනු ලැබ ඇත.
එසේම මෙරට සිටින විදේශිකයකු රුපියල් ගිණුම් හරහා සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් ආපසු සිය රටට යැවීමද ඇමරිකානු ඩොලර් 10,000ක් හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප්‍රමාණයක උපරිමයක් දක්වා සීමා කර ඇත.
මෙයට අමතරව මෙරට හැර යෑමට අදහස් කරන මෙරට නේවාසිකව සිටින ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන් විදේශ මුදල් නිකුත් කිරීම එක් පුද්ගලයෙකු සඳහා ඇමෙරිකානු ඩොලර් දහදාහක් හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් ඉහත සමාන ප්‍රමාණයක උපරිමයක් දක්වා සීමා කර ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

