මූල්‍ය අපරාධකරුවන්ට දඬුවම් දීම 2015 ඡන්දෙ බලාපොරොත්තුවක් - වැලිඅමුණ


තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ 

 

‘මහා පරිමාණයෙන් සිදුවන මූල්‍ය අපරාධ මුළු මහත් ජනතාවටම බලපානවා. 2015 වසරේදී ආණ්ඩුව පත් කිරීමේදී බලාපොරොත්තු වූ එක් කරුණක් වන්නේ මෙවැනි මහ පරිමාණ අපරාධකරුවන්ව ඉහළම දඬුවම් ලබා දීමයි.‘    ජනාධිපති නීතීඥ ජේ.සී.වැලිඅමුණ මහතා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.
 
යෝජිත ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීමේ විධි විධාන ඇතුළත් අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බව පවසමින් ගොනු කළ පෙත්සමක අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතීඥවරයා එසේ කීවේය.
 
මෙම පනත් කෙටුම්පත විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරණයකින්  අනුමත කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ නායක    දිනේෂ් ගුණවර්ධන මහතා , හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ,ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උයද රෝහන් ද සිල්වා  ඇතුළු හත් දෙනෙක්  පෙත්සම් ගොනු කරනු ලැබූහ.
 
එම පෙත්සම්වලට එරෙහිව මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක , ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ,  මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න  , විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා , නිපුණතා සංවර්ධණ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන  ඇතළු 14 දෙනෙකු අතරමැදි පෙත්සම් ගොනු  කර තිබේ.
 
 
මෙම අතරමැදි පෙත්සම් අද  අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ , සහ නලින් පෙරේරා යන මහත්වරුන් ගෙන සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
 
අතරමැදි පෙත්සම්කාර ජගත් හේමචන්ද්‍ර මහතා වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා පළමුවෙන්ම අදහස් දැක්වූ අතර එහිදී වික්‍රමරත්න මහතා මෙසේද කීය.
 
‘‘ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ගේ කරුණු දැක්වීමට මම එකඟවෙනවා.මෙම පනත් කෙටුම්පතින් නීතීඥවරුන්ට පෙනී සිටීමට බාධාවක් නැහැ.සේවාදායකයාට කැමති නීතීඥවරයෙකු තෝරා ගැනීමට හැකියාව ඉන් ලැබී තිඛෙනවා. දිනපතා නඩු විමසීම මහාධිකරණයට අවශ්‍ය දෙයක් නොවෙයි. ජූරි සභාවක් නොමැතිව මහාධිකරණයේ නඩු විභාගයට ගන්නා කාලයේදීත් දිනපතා නඩු ඇසීම සිදු කලා.‘
 

අතරමැදි පෙත්සම්කාර රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් පී.පෙරේරා සහ කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජේ.සී වැලිඅමුණ මහතා මෙසේද කීය.
 
‘නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ සහ ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතාගේ කරුණු දැක්වීමට එකඟ වනවා.මෙවැනි සංකීර්ණ මූල්‍ය අපරාධ සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම ලෝක ප්‍රවණතාවයක්.
නඩු පමා වීමෙන් නිසි පරිදි යුක්තිය පසඳලීම සිදුවන්නේ නැහැ.ඒක සමස්ත අධිකරණයේ විශාල අර්බුදයක්. ඒක විත්තිකරුවන්ට බලපානවා. මහපරිමාණයෙන් සිදුවන මූල්‍ය අපරාධ මුළු මහත් ජනතාවටම බලපානවාත 2015 වසරේදී බලාපොරොත්තු වූ එක් කරුණක් වන්නේ මෙවැනි මහා පරිමාණ අපරාධ කරන්නන්ට කඩිනමින් දඬුවම් ලබා දීමයි.
 
මෙම අපරාධ සිදු කරන්නේ ඉහළ පන්තියේ අයයි. ඔවුනට ඉහළම නීතීඥවරයෙකු ලබා ගත හැකියි. ඔවුන්ට හැම පහසුකමක්ම තිබෙනවා. විවිධාකාර අල්ලස් ලබා දී මේවා යටපත් කළහැකියි. වෙනත් රටවල නම් මේවාට දඬුවම් නියම කරනවා.
 
මහාචාර්ය සරත් විජේසූරිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මෙසේද කීය.
 
‘‘ 1978 ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව මහාධිකරණ වර්ග දෙකක් ගැන සඳහන් වෙනවා.ඒ කියන්නේ ජනරජයේ මහාධිකරණය සහ පළාත්බද මහාධිකරණයයි.පළාත්බද මහාධිකරණයට විනිසුරුවරුන් නම් කරන්නේ අගවිනිසුරුවරයායි.ඊට විනිසුරුවරුන් දෙදෙනෙකු නම් කරනවා.නමුත් නීතිපතිවරයා අධිචෝදනා ගොනු කිරීමේදී පලාත්බද මහාධිකරණයද වෙනම අධිචෝදනා ගොනු කරන්නේ නැහැ.
 
මෙම පනත් කෙටුම්පතේ සඳහන් ත්‍රිපුද්ගල මහාධිකරණයටත් අධිචෝදනා ගොනු කරන්නේ මහාධිකරණය යනුවෙන් සඳහන් කර ඒ අනුව නව ත්‍රිපුද්ගල මහාධිකරණය විශේෂ අධිකරණයක් නොවෙයි. එය හොඳින් පහැදිලියි. අගවිනිසුරුවරයා විසින් පත් කරනු ලබන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විශේෂ කාර්යයන් පත් කළ එකක්.මෙම පනතින් සම්මත කරනු ලබන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට විනසුරුවරුන් පත් කරන්නේ අධිකරණ සේවා කොමිසම මඟිනි.එහි සිටින්නෙත් අගවිනිසුරුවරයායි.
 
මෙම පෙත්සම් හෙට යළි කැඳවීමට නියමිතය.