මුහුදු මාර්ගයෙන් ලංකාවට එන්න හැදු තිදෙනෙක් අත්අඩංගුවට



 
(තිළිණි ද සිල්වා)
 
මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයින් තිදෙනෙකු දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට පත් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටියි.


මෙලෙස අත්අඩංගුවට පත් වූයේ ලාංකික අඹුසැමි යුවලක් සහ තවත් ලාංකිකයකුය.


මොවුන් තිදෙනා බෝට්ටුවක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කරමින් සිටියදී ඉන්දීය ත‍්‍රස්ත විමර්ශන පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් පසුගිය සිකුරාදා දිනයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.


අත්අඩංගුවට ගත් අඹුසැමි යුවල 2002 වසරේ දී මණ්ඩපම් සරණාගත කදවුරේ ලියාපදිංචි වීමෙන් පසුව නමක්කාල් , මෙටුපට්ටි සරණාගත කදවුරේ රැඳී සිට ඇති බව සඳහන් වේ.


ඔවුන්ට එරෙහිව සොරකම් ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් නඩු පවතින බවට එරට ත‍්‍රස්ත විමර්ශන පොලිස් නිලධාරීන් විසින් තහවුරු කර ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් අනෙක් සැකකාර ලාංකිකයා ශිවනාගපුරම් සරණාගත කදවුරේ රැදී සිට ඇති අතර ඔහු ද රන් භාණ්ඩ ඇතුළු සොරකම් කිහිපයකට සම්බන්ධ බවට අනාවරණය වී තිබේ.


මොවුන් තිදෙනා සරණාගත කඳවුරු තුළින් පැනවිත් ලංකාවට යළි පැමිණීමට උත්සාහ කර ඇති බව ඉන්දීය පොලීසිය සිදුකළ විමර්ශන වලින් අනාවරණය වී ඇත.