
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අතර සාකච්ඡාවක් බත්තරමුල්ල ගොවිජන මන්දිරයේදී අද(14) පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ චීනය අතර කෘෂිකාර්මික සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් මෙම හමුව පැවැත්වුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
හරිතාගාර වගාවන් සහ සුහුරු කෘෂිකර්මාන්තය (Smart Agriculture) පිළිබඳව මෙහිදී චීන තානාපතිවරයාගේ විශේෂ අවධානය යොමුව තිබේ.
චීනය මේ වන විට ජංගම යෙදවුම් හරහා වගාවට උචිත පස, ආර්ද්‍රතාවය ඇතුළු සියලු පරිසර තත්ත්වයන් මැන ගනිමින් කෘෂිකාර්මික කටයුතු හැසිරවීමේ තාක්ෂණය දියුණු කර ඇති අතර, එම තාක්ෂණික සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමට මෙම සාකච්ඡාවේදී කැමැත්ත පළ කළේය.
එමෙන්ම, මුහුදු ජලයේ පවා වගා කළ හැකි දියුණු දෙමුහුන් වී ප්‍රභේද මෙන්ම වියළි හා තෙත් කාලගුණික තත්ත්වයන්ට ගැලපෙන පරිදි ඉඩම් සකස් කිරීමේ තාක්ෂණය ද චීනය සතුව පවතින බව තානාපතිවරයා පෙන්වා දුන්නේය. සේවා, කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත යන අංශ තුනම එකිනෙකට සම්බන්ධ කරමින් සමගාමී සංවර්ධනයක් කරා ගමන් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.


