(සනත් ගමගේ)
අම්බලන්තොට මල්පෙත්තාව මහ විදුහලේ සේවය කරන මුස්ලිම් ගුරුවරයෙකු පාසලෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එම පාසැලේ සිසුන්ගේ මව්පියවරුන් පිරිසක් (23) විදුහල ඉදිරිපිට පැවති විරෝධතාවයකට අනුව ගුරුවරයා ඉවත්කිරීමට හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීහු පියවර ගත්හ.
පාසලට පැමිණෙන සියලු සිසු දරුවන් හා ගුරුවරුන්ව පොලිස් නිලධාරීන්, දෙමාපිය ආරක්ෂක කමිටුව විසින් පාසල් ගේට්ටුව ඉදිරිපිට දී පරීක්ෂා කර, පාසලට ඇතුළත් කළද, මෙම ගුරුවරයා ඔවුන්ට තමාව පරීක්ෂා කිරීමට ඉඩනොදී පාසලට ඇතුළත් වන බව දෙමාපියෝ කීහ. එහෙත් මෙම ගුරුවරයා තමාව පරීක්ෂා කිරීමට ඉඩ දී ඇති බව පාසල් ගුරුවරු පැවසූහ.
ගුරුවරයා පාසලේ සිටින කාලය තුළ දරුවන් ආනාරක්ෂිත හෙයින් දරුවන් පාසලෙන් ඉවත් කර ගැනීමට දෙමාපියෝ සූදානම් වූහ. එහිදී හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීහු හා අම්බලන්තොට පොලිසියේ නිලධාරීහු ද පාසල් සංවර්ධන සමිතියේ නියෝජිත පිරිසක් ද සමග සාකච්ඡා කර අදාළ ගුරුවරයා එම අවස්ථාවේදීම පාසලෙන් ඉවත් කර කළාප කාර්යාලයේ වෑන්රථයෙන් හම්බන්තොට කලාප කාර්යාලයට රැගෙන ගියහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට කලාප අධ්‍යක්ෂිකා ඒ.ජී සමන්ති මහත්මියගෙන් විමසීමේදී ඇය පැවසුවේ අම්බලන්තොට මහ විදුහලේ මෙම මුස්ලිම් ගුරුවරයා සම්බන්ධයෙන් ඔප්පු කර හැකි චෝදනා කිසිවක් නැති බවයි. පාසලේ පරීක්ෂා කිරීම්වලට සහාය දක්වන ලෙස මෙම ගුරුවරයාට උපදෙස් ලබා දුන් බවද කලාප අධ්‍යක්ෂිකාව සඳහන් කළාය. මෙම ගුරුවරයා සම්බන්ධයෙන් සොයා බැලීමට පොලීසියට දන්වා ඇති හෙයින් දෙමාපියන් පිරිසක් මෙම විරෝධය පළ කරන බවද ඇය සඳහන් කළාය.




