මුස්ලිම් ඇමැතිවරුන්ගේ අස්වීමට ත්‍රෛනිකායික සංවේගය


(ජේ.ඒ.එල්. ජයසිංහ)

රජයේ මුස්ලිම් ඇමැතිවරුන් සිය ධුරවලින් ඉවත්වීම සිදු නොවිය යුත්තක් වන අතර එම ඇමැතිවරුන්ට නැවත වගකීම් බාර ගන්නැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ඇතුළු එම නිකායික කාරක සංඝ සභා ඉල්ලා සිටින බව නියංගොඩ ශ්‍රී විජිතසිරි මල්වතු අනුනාහිමියෝ ඊයේ (05) මහනුවර දී ප්‍රකාශ කළහ.

මුස්ලිම් ඇමැතිවරුන් ධුරවලින් ඉවත්වීම පිළිබඳව බලවත් සංවේගය පළකරන බව ද අනුනාහිමියෝ කීහ.

මල්වතු අස්ගිරි රාමඤ්ඤ සහ අමරපුර යන ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් මහනුවර අස්ගිරි මහා විහාර මූලස්ථානයේ දී එම නිකායික විශේෂ සංඝ සමුළුවක් ඊයේ පෙරවරුවේ පැවැති අතර එම සමුළුවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් විජිතසිරි අනුනාහිමියෝ එසේ පැවැසූහ

සංඝ සමුළුවේ දී ගත් තීන්දු තීරණ ඇතුළත් ඒකාබද්ධ නිවේදනයක් ඉදිරියේ දී රජයට ලබාදෙන බව ද අනුනාහිමියෝ කීහ.

එහිදී මල්වතු අනුනාහිමියෝ මෙසේ ද පැවසූහ.

"රට තුළ පවතින අර්බුදකාරී ප්‍රශ්නවලට මහා සංඝරත්නයේ විශේෂ අවධානය යොමුවී තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධව ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි සාකච්ඡා කර මහා සංඝරත්නයේ අදහස් රජයටත් රටටත් ජනතාවටත් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරනවා.

මේ විශේෂ සාකච්ඡාවේ තේමාව වූයේ මාතෘකා 15ක් යටතේ යෝජනාවලියක් සකස් කිරීමයි. මේ අවස්ථාව වනවිට රටේ විශාල අර්බුදකාරී ස්වරූපයක් මතුවී තිබෙනවා. ඒවා සුළු කර තැකිය නොහැකියි. මෙය ඉතා බැරෑරුම් ප්‍රශ්නයක්. රට තුළ දේශපාලනික , ආර්ථික, සමාජීය, ආගමික හා සංස්කෘතික වශයෙන් මේ මොහොතේ ප්‍රශ්න මතුවී තිබෙනවා. මේවා ඉතාමත් බැරෑරුම්. මේ ගැන මහා නායක හිමිවරුන්ගේ අත්සන් සහිතව ලියවිල්ලකින් රජයටත් ජනතාවටත් කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට මෙම විශේෂ සාකච්ඡාවේ දී තීරණය වූවා.

එයට කරුණු 15ක් ඇතුළත්. ඒවා රටටත් සමාජ ක්‍රියාකාරිත්වයටත් ජනජීවිතයටත් රටේ වෙසෙන සැමගේ අධ්‍යාත්මික ස්ථාවර භාවයටත් හේතු වනවා.

සාමූහික පණිවුඩයක් ලෙස සමස්ත නායක හිමිවරුන් රටට ඉදිරිපත් කරන කාරණයක් තමයි සිංහල දෙමළ මුස්ලිම් හා අනෙකුත් ශ්‍රී ලාංකික ජන කොටස් එකම බැඳීමකින් යුක්තව කටයුතු කළ යුතුයි කියන මතය තහවුරු කරන එක ගැනයි අපේ ඉල්ලීම. මුස්ලිම් අමාත්‍යවරු ඔවුන්ගේ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීම පිළිබඳව අපගේ සිත් තුළ ඇත්තේ බලවත් සංවේගයක්. එය සිදු නොවිය යුත්තක්. තම තමන්ගේ වගකීම් බාරගෙන පාලන තන්ත්‍රයට පිවිසිලා රටට ජනතාවට තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් කොටස ඉටුකළ යුතු බව තනතුරුවලින් ඉල්ලා අස්වූ සැමට දන්වා සිටිනවා.

යම් යම් චෝදනා ඉදිරිපත් වී ඇති කවුරුන් හෝ ප්‍රභූවරයෙක් අමාත්‍යවරයෙක් දේශපාලනඥයෙක් ඉන්නවා නම් ඒ අය ආරක්‍ෂක අංශවලට ඉදිරිපත් වී  කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිනවා.

පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ආසාධාරණ භීෂණකාරී වර්ධනයක් තවදුරටත් සමාජය තුළ වර්ධනය විය යුතු නැහැ. රටේ ආර්ථිකයටත් මේ නිසා හානි ඇති වී තිබෙනවා. හැම දෙනාම අවිනිශ්චිත තත්ත්වයකින් පසුවනවා. මේ තත්ත්වය තවදුරටත් පැවතියහොත් බාහිර බලවේග මේ රටට ඇතුල් වී ඉදිරියට භයානක තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනවා. මෙරට විවිධ ව්‍යාපාරික ආයතන ආර්ථික සංවිධාන මහා පරිමාණ සමාගම් වෙළඳ ආයතනවල ප්‍රධානීන් මහා නායක හිමිපාණන් වහන්සේලා වෙත කරුණු කාරණා ඉදිරිපත් කර තිබෙනවා උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව. රට තුළ ආර්ථික අංශවලටත් ඒවා බලපා තිබෙන බව.

මෙරට මුස්ලිම් ප්‍රජාව සමග අපේ කිසිම වෛරයක් අමනාපයක් නොහොඳ නෝක්කඩුවක් නැහැ. අපි ඔවුන් සමග සමගියෙන් ජීවත්වූවා. මේ තත්ත්වය අවබෝධ කරගත යුතුයි.

පාස්කු  ඉරිදා  ප්‍රහාරයෙන් අභාවයට පත් වූ හා තුවාල ලබා අසරණ වූ සැම දෙනා වෙනුවෙන් අපගේ බලවත් සංවේගය ඒ සැමට පුදකරමින් ඔවුන්ට අපට හැකි අයුරින් සහන උදා කරදෙන බව සඳහන් කරනවා.

අද මේ විශේෂ ප්‍රකාශය කරනු ලබන්නේ ත්‍රෛනිකායික මහා නායක හිමි පාණන් වහන්සේලා ප්‍රමුඛ ත්‍රෛනිකායික කාරක මහා සංඝ සභාවන්හි අනුමැතිය ඇතිව බව මෙහිලා සඳහන් කළ යුතුයි."

මේ අවස්ථාවට මල්වතු අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අස්ගිරි අනුනායක ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි, කෝට්ටේ පාර්ශවයේ මහා නායක ඉත්තෑපාන ධම්මාලංකාර, ශ්‍රී රෝහණ සංඝ සභාවේ අනුනායක ඕමාරේ කස්සප, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරි අතංගනේ රතනසාර, අස්ගිරි මහා ලේකාධිකාරි ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද යන මාහිමිවරුන් ඇතුළු අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද, මහාචාර්ය තුම්මුල්ලේ ශිලක්ඛන්ධ, ආචාර්ය ගොඩගම ශ්‍රී මංගල, උඩරට අමරපුර නිකායේ ලේඛකාධිකාරි වත්තේගම ශ්‍රී ධම්මාවාස, කොටගොඩ ශ්‍රී රතනසාර, මල්වතු කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර, අස්ගිරි කාරක සංඝ සභික ගල්ලෑල්ලේ සද්ධාතිස්ස, කාටකුඹුරේ ධම්මාරාම, වඳුරුගල ධම්මරතන, අස්ගිරි කාරක සංඝ සභික ආචාර්ය මුරුද්දේනියේ ශ්‍රී ධම්මරතන, බදුලු මුතියංගන රාජ මහා විහාරාධිකාරි මහියංගණ රජ මහා විහාරාධිපති අස්ගිරිකාරක සංඝ සභික උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත, කහවන්තේ ශ්‍රී රතනසාර (අස්ගිරිකාරක සංඝ සභික) අස්ගිරි කාරක සංඝ සභික ඇටිපොල මහින්ද යන හිමිවරු සහභාගි වූහ.

එම මහා සංඝයාවහන්සේලා එක්ව සාකච්ඡා කරන ලද කරුණු ඇතුළත් ඒකාබද්ධ නිවේදනය ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව රජයට ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය වූ බව සාකච්ඡාවේ කරුණු මාධ්‍යයට හෙළිකළ නියංගොඩ ශ්‍රී විජිතසිරි මල්වතු අනුනාහිමියෝ පැවසූහ.