රට තුළ ජාතීන් අතර පවතින සමගිය ආරක්‍ෂා කරගැනීම සදහා තමන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා අරලියගහ මන්දිරයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
ඇමති ධූරයන්ගෙන් ඉවත් වුවද ආණ්ඩුවෙන් ඉවත් නොවන බව ඔහු සඳහන් කළේය.
ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට සම්බන්ධ කවුරුන් හෝ තමන් අතර සිටී නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්‍ෂණ කර පියවර ගත යුතු බව ද රවුෆ් හකීම් මහතා කීවේය.
ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන සියලු මුස්ලිම් ජාතික මැති ඇමතිවරු මෙම මාධ්‍ය හමුවට එක්ව සිටිති.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවුෆ් හකීම් මහතා මෙසේද කීය.
‘‘රටේ වත්මන් තත්වය පිළිබඳව අපි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ කැබිනට් අමාත්‍යවරුන් සමඟ දීර්ඝව සාකච්ඡා කළා. එම සාකච්ඡාවෙන් පසු අපිට ස්වාධීනව තීරණයක් ගැනීමට අවකාශය සැලසුනා.
ඒ අනුව රජයේ නිල තල දරන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සියලු දෙනාම ඉල්ලා අස්වීමට තීරණය කළා.
විශේෂයෙන්ම අපට අවශ්‍ය වෙලා තියෙනවා මේ රටේ සාමය, සංහිඳියාව ස්ථාපිත කරලා රටේ මතුව ඇති මේ කලබගෑනිය වළක්වා ගැනීමට. ඒ වගේම මේ වට තුඩු දෙන අනෙකුත් බලවේග එල්ලකරන මේ චෝදනා පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු කළ යුතුයි.
අපි මේ රටේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව ඒ සඳහා වූ උපරිම සහයෝගය අපේ ජනතාවත්, අපිත් උපරිම ලෙස ලබා දී තිබෙනවා.
අපි එලෙස සහාය ලබා දී තිබියදීත් විටින් විට මේ රටේ වෛරය ක්‍රෝධය ඇති කරන ක‍්‍රියාදාමයන්ට එරෙහිව රජය කටයුතු කරන ආකාරය පිළිබඳව අපි පිළිකුලට පත් වෙනවා.
මේ දිනවල සිදුවූ නොයෙකුත් සිදුවීම් ගැන විශාල භීතිකාවක් අපේ ජනතාවට තිබෙනවා. අපේ ජනතාව අහිංසකයි. යම් සුළු කල්ලියක් කරපු මේ ක්‍රියාදාමයට සමස්ත මුස්ලිම් ජනතාවම වින්දිතයන් වූ අවස්ථාවක් විදියට අපි මේක දකිනවා.
අපි ආණ්ඩුවේ ඇමතිධූරවලින් ඉවත් වුවත් අපි මේ ආණ්ඩුව බලහීන කරන කිසිදු ක්‍රියාදාමයක් කරන්නේ නැහැ. අපි ආණ්ඩුව තුළ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් ආණ්ඩුව රැකීමට ඉදිරිපත් වෙනවා. ඒ ආකාරයෙන්ම මේ ආණ්ඩුව අපි නියෝජනය කරන ජනතාවගේ ආරක්ෂාවත් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මේ රට එක්සේසත් කළ යුතුයි. මේ රටේ ජාතීන් අතර සමගිය ඇති විය යුතුයි. අපේ රටට ජාත්‍යන්තරයේ තියෙන කීර්තිනාමයට කිසිඳු හානියක් වීමට අපිට ඉඩදිය නොහැකියි.
චෝදනා කාට තිබුනත් ඒ චෝදනා පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදුකළ යුතුයි. පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාවක් මගින් අපිට මේ ගැන විසඳුමක් අපේක්ෂා කළ නොහැකියි.
යම් අපරාධකරුවෙක් සිටිනව නම් ඔහු පිලිබඳ ඕනෑම දඬුවමක් දිය හැකියි. ඒ ගැන අපිට කිසිදු ගැටලුවක් නැහැ. රට තුළ භේද ඇති කරන බලවේග පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. ඔවුන් රට තුළ ඇති කරන කලබල සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතුයි’’ යැයිද ඔහු එහිදී පැවැසීය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)






