මුස්ලිම් අන්තවාදයට එරෙහිවන්න කලින් ආණ්ඩුවට කොන්දක් තිබ්බේ නෑ


(*** මුදිතා දයානන්ද)

මුස්ලිම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට කලින් පැවැති ආණ්ඩුවට පිටකොන්දක් නොතිබූ බව ද එසේ කටයුතු කිරීමෙන් මැද පෙරදිග රටවල් ඇතුළු ජාත්‍යන්තරයෙන් බලපෑම් ඇතිවේ යැයි බිය වූ බව ද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් පී. විජේවීර මහතා පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (12) ප්‍රකාශ කළේය.

මෙම තීරණය පිටුපස මුස්ලිම් අමාත්‍යවරුන්ගේ බලපෑම ඇති බව එකල වැටහී ගිය බව ද ඔහු පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.
ජාතික තවුහිද් ජමාත් සංවිධානය, සහරාන් හෂීම් හා මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් 2017 වනවිට බුද්ධි අංශ විසින් ආරක්ෂක කවුන්සිලයේදී හෙළිදරව් කරන ලද බව ද ඔහු පැවැසීය.

මෙම අන්තවාදීන්ගෙන් දේශීය වශයෙන් ගැටලුවක් ඇතිවේ දැයි සුපරීක්ෂාකාරීව සිටින ලෙස ජනාධිපති හා අගමැති එකල උපදෙස් දුන් බව ද ඔහු කීය.

එසේම හිටපු අගමැතිවරයා ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට ඇතැම් විට සම්බන්ධ වූ අතර ඒ සම්බන්ධ වූ ඒවායේදී ද ඔහු කලින් පිටව ගිය බව ද ඔහු පැවැසීය.

පොලිස්පතිවරයා මෙම රැස්වීම්වලට කැඳවීමට එපා යැයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබූ බැවින් ඔහු ඒවාට සම්බන්ධ නොවූ බව ද විජේවීර මහතා කීවේය.