මුවන් පැළැස්සේ ‘මැණිකේ‘ සමුගනී



සිරංගිකා ලොකුකරවිට 

මුවැන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යයේ මැණිකේ චරිතයට සිය හඬ දායකත්වය දුන් රත්නාවලී කැකුණවල මහත්මිය අද සිය දිවිගමන නිමා කළාය.


මියයනවිට 87 වැනි වියේ පසු වූ ඇය ගුවන්විදුලි නාට්‍යය, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමාව යන සියළු කලා ක්ෂේත්‍රයන්හි සිය රංගන දායකත්වය ලබා දෙමින් ඉමහත් ජනාදරයට පත්ව සිටියාය.


සත්සමුදුර චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය දියමන්ති, කරුමක්කාරයෝ, ආරාධනා, දඩයම, බට්ටි, වදුල වැනි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදී ඇත. වසර 50ට වැඩි කාලයක් කලා කාරිනියක ලෙස කටයුතු කළ ඇය සරසවි සම්මානය, ජනාධිති සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත්වූවාය.


මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යමාලාව ටෙලි නාට්‍යයක් ලෙස ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒම සඳහා රන්මිණිතැන්නේ කරන ලද පටිගත කිරීමක් අතරතුර රෝගී වූ පසු කිසිදු නිර්මාණයකට සිය දායකත්වය නොදුන් බව ඇය පසුගිය දිනක සිය හිතවත් පුවත්පත් කලාවේදීන්ට පවසා තිබිණි.


පොලිසියේ සංඥා අංශයේ නිලධාරියකු සමග විවාහ වී සිටි රත්නාවලී කැකුණවෙල මහත්මිය පුතුන් හතර දෙනකුගේ හා දියණියන් දෙදෙනකුගේ මවකි.