මුලතිව්හි තනි දළ ඇතාට විදුලි සැර වැදී මරුට


(රොමේෂ් මධුෂංඛ)


මුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්‍රදේශයේදී දැවන්ත ඇතෙකු කිසියම් පිරිසක් විසින් දමා තිබූ විදුලි රැහැනකට හසු වී ඊයේ (21) දින මිය ගොස් තිබියදී සොයා ගත් බවට මුලතිව් වනජීවි නිලධාරීහු කියා සිටියහ.


තේරාවිල් වැව ආසන්නයේ කිසියම් පිරිසක් විසින් මෙම තනි දළ ඇතාට විදුලි රැහැන් යොදා මරා දමා ඇති බවට සිදුකරන ලද මූලික පරික්ෂණ වලදී හෙළි වී ඇති අතර විදුලි රැහැන් යොදූ පිරිස් කව්රුන්ද යන්න මෙතෙක් හෙළිවී නොමැත.


කෙසේ වෙතත් මෙම ඇතා පුදුකුඩිඉරිප්පු වැසියන් හඳුන්වා සිටියේ තනි දළයා ලෙසිනි. ඊට හේතුව වූවේ පසුගිය දිනයන්හි මුලතිව් දිස්ත්‍රීක්කයේ පැවති නියං තත්වය හේතුවෙන් මෙම තනි දළයා ගම් වැදී වගාවන්ට දැඩි ලෙස හානි සිදු කිරීම හේතුවෙන් බොහෝ පිරිසක් මෙම තනි දළයා දන්නා හඳුනනා ඇතෙකි.


ඇතාට විදුලි රැහැන් යෙදූ පුද්ගලයින් සෙවීම සඳහා මුලතිව් වනජීවි නිලධාරීන් මෙන්ම පුදුකුඩිඉරිප්පු පොලීසියද විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇත.