මුලතිව් සංවර්ධනයට රුපියල් මිලියන 318 ක්



                    
(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් දිස්ත්‍රික්කය තුළ විවිධ සංවර්ධන ව්‍යාපෘති 156 ක් ආරම්භ කිරීම සඳහා මූලික පියවර වශයෙන් රුපියල් මිලියන 68 ක මුදලක් ලැබී ඇතැයි මුලතිව් සංවර්ධන කටයුතු පිළිබඳ විමසීමේදී මුලතිව් දිසාපතිනී රූපවතී කේතීස්වරන් පැවසුවාය.

ව්‍යාපෘතිවලින් සියයට 65ක්ම කෘෂිකර්ම ව්‍යාපෘති වන අතර අනෙක් ව්‍යාපෘතිවලින් සියයට 18 ක් ධීවර කටයුතු සඳහා වූ ව්‍යාපෘති බවත් මෙම සියළු ව්‍යාපෘති සඳහා මිලියන  318 ක මුදලක් ලැබෙන අතර එම මුදල් ව්‍යාපෘතිවල ප්‍රගතිය මත මේ වසර ඇතුළත අදියරවල් හතරකින් ලැබීමට නියමිත බවද දිසාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මිලියන 162 ක මුදලක් පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයෙන් ලැබෙන අතර සෙසු මුදල් ඒ ඒ ව්‍යාපෘති බාර අමාත්‍යංශවලින් ලැබෙන බව සඳහන් කළාය. 

එහිදී කරදියන් ආරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 55 ක් ආරම්භ වන අතර මාන්තෙයි නැගෙනහිර පළාතේ ව්‍යාපෘති 21 ක් ද, පුදුකුඩීඉරිප්පු පළාතේ ව්‍යාපෘති 29 ක් ද තුනුකායි පළාතේ 16 ක් ද ආරම්භ වන අතර තවත්  ව්‍යාපෘති 35 මුලතිව් නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙයි.