මුලතිව් මුහුදේ නාන්න ගිය සිසුන් දෙදෙනකු අතුරුදන්


(රොමේෂ් මධුෂංඛ)
දීපාවලිය සැමරුම අතර මුලතිව් මුහුදේ දිය නෑමට ගිය උසස් පෙළ සිසුන් දෙදෙනෙක් අද (18) මුහුදේ ගිලී  අතුරුදහන්ව ඇති බව මුලතිව් පොලීසිය කියයි.

උසස්පෙළ සිසුන් 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද සවස 3 ට පමණ මුලතිව් මුහුදේ දිය නාමින් විනෝද වී ඇති අතර එක වරම ආ රළ පහරකට හසුව සිසුන් දෙදෙනෙකු අතුරුදහන්ව ගිය බවට ඉතිරි වූ සිසුන් මුලතිව් පොලීසියට කියා ඇත.

සිසුන් දෙදෙනා අතුරුදහන් වීමත් සමග ඉතිරි සිසුන් අසල පිරිසට මිතුරන් දෙදෙනාගේ අතුරුදහන් වීම පිළිබඳව පැවසීමෙන් පසුව ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇත.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ මුලතිව් මනල්කුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි ශිලාවතුර මහ විද්‍යාලයේ හා මුලතිව් මහා විද්‍යාලයේ 18 හැවිරිදි  තරුණයින් දෙදෙනෙකි.

අද සවස් කාලය වන තුරුද පොලීසිය මෙන්ම නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක්ද යොදවා අතුරුදහන් සිසුන් දෙදෙනා සෙව්වද ඔවුන් හමු වී නොමැති අතර මුලතිව් මුහුදු වෙරළට මේ වන විටත් විශාල පිරිසක් රැස්වී සිටිති.