මුලතිව් පළාත් පාලන ආයතන මැතිවරණය වෙනුවෙන් මීට වසර හයකට පෙර ඉදිරිපත් කෙරුණු නාමයෝජනා අවලංගු වීම හේතුවෙන් එම මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයින්ට ඒ සඳහා ඔවුන් ලබාදුන් තැන්පතු නැවත පොලිය සමග ආපසු ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
එම නාමයෝජනා අහෝසි කරමින් පසුගිය සතියේදී ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණු අතර එහි සඳහන් වූයේ ඇතැම් අපේක්ෂකයින් මිය ගොස් ඇති බවත් ඇතැම් අපේක්ෂකයින් අවතැන් වී ඇති බවත් ඇතැමුන් පක්ෂය මාරු කර ඇති බවත්ය.එමෙන්ම තරුණ අපේක්ෂකයින් වයස 35 සීමාව ඉක්මවා ඇති බවත් ඇතැම් අපේක්ෂකයින් රට හැර ගොස් ඇති බවත් එහි සඳහන් වේ.
එම නාමයෝජනා සඳහා තැන්පතු ඉදිරිපත් කළ දිනයේ සිට මේ දක්වා වසරකට 12.5% පොලියක් එම තැන්පතු සඳහා ලබා දීමට නියමිත ය.
මුලතිව් පළාත් පාලන මැතිවරණය සඳහා පක්ෂ නියෝජනය කරමින් නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයින් රුපියල් 1500ක් තැන්පතු සඳහා ගෙවා ඇති අතර ස්වාධීන අපේක්ෂකයින් රුපියල් 5000 බැගින් මීට වසර හයකට පමණ පෙර ගෙවා ඇත.
2011 දී නාමයෝජනා කැඳවු එම මැතිවරණය අවස්ථා කිහිපයකදී ම කල් දමනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2015 දී නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයකින් පසුව ඡන්ද විමසීම් තව දුරටත් කල් තබන ලදී.

