(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
යාපනය කිලිනොච්චිය මුලතිව් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා විශ්වමඩු අණ දෙන මූලස්ථානයේ සිට ස්ථාන මාරු ලබා යන අවස්ථාවේ දී පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජික සාමාජිකාවෝ මෙන්ම ප්‍රදේශවාසීහු ද හඬා වැටුණහ.
රත්නප්‍රිය බන්දු මහතා වසර පහක සිට මෙම ප්‍රදේශයට පැමිණ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි පිරිස් පුනරුත්ථාපනය කර ඔවුන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගෙන සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය.
ඔහු ස්ථාන මාරු ලැබ පිටව යන අවස්ථාවේ දී ඔවුහු සියලු දෙනාම හැඬූ කඳුළින් සමුදුන්හ.
කිලිනොච්චිය සමුපකාර ගොඩනැගිල්ලේ දී ඔහුට සමුදීමේ උත්සවයක් පැවැත්වූ අතර, එය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බැඳී සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පුනරුත්ථාපනය වූවන් විසින් සංවිධානය කර තිබිණ.