මුලට ගිනිතියා ගස පාරට පෙරළයි


(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ගම්පහ තිලකරත්න දිසානායක)

ගම්පහ දාරළුව දොරණාගොඩ මාර්ගයේ ජපන් මිත්‍රත්ව පාලම ආසන්නයේ රෝපණය කර තිබූ ඉන්දියානු නුග ගසක මුලට ඊයේ රාත්‍රියේ ගිනිතැබීමේ  සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි.

ඉන්දියානු නුග ගසේ මුල කොටසට ගිනිතැබීමෙන්  මුල කැඩී ගස පාර හරහා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය ඇණ හිට පැවතිනි. ඒ ආසන්නයේම වූ අනෙක් නුග ගසට ද ගින්නෙන් හානි වී තිබෙනු දැකිය හැකි විය.

වර්ෂ 1995 දී එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ මැදිහත්වීම මත, ඇල් ඔයේ කෙටවල වෙල් යායේ ඉදිකෙරුණු ජපන් මිත්‍රත්ව පාලම 1996 වර්ෂයේ අගෝස්තු 31 දින එවකට අගමැතිනී  සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින්  විවෘත කරන අවස්ථාවේදී, රෝපණය කරන ලද නුග ගසක් මෙසේ ගිනි තබා විනාශ කර ඇතැයි ප්‍රදේවාසීහු සදහන් කළහ.

එම අවස්ථාවේදී මාර්ගය දෙපස මෙම වර්ගයේ නුගපැළ 5ක් ඇතුළුව ගස් ගණනාවක් රෝපණය කරන ලදැයිද එම නුග ගස්වලින් තුනක් මියයාමෙන් පසු ඉතිරිව වැවී තිබූ එක් ගසක් මෙසේ විනාශ කර දමා ඇති බවද ජනතාව සදහන් කළහ.

මෙසේ  ගිනි තබා විනාශ කර ඇති නුග ගස පිහිටා ඇත්තේ අධිවේගී මාර්ගයේ සීමාවේ පිහිටි කෘඩියා සෙලනිකා ගස පිහිටි ස්ථානයට මීටර් දෙතුන් සියයක් ආසන්නයේ වීම විශේෂත්වයකි. දින කිහිපයකට පෙර මෙම ගස මුලට ප්ලාස්ටික් බෝතල් දමා ගිනි දල්වා තිබූ බවත්, ඒ දුටු  ආබාධිත රණවිරුවන් ඇතුළු ජනතාව එම ගින්න නිවා දමා ඇතැයිද එසේ තිබියදී ඊයේ රාත්‍රියේ යලිත් ගිනි තැබීමෙන් මෙම විනාශය සිදුව ඇතැයිද ඔවුහු සදහන් කළහ.

මග දෙපස දර්ශනීයත්වය සදහාත් මාර්ගයේ ආරක්ෂාව සදහාත් සිටුවා තිබූ මෙම ගස විනාශ කිරීමට විරෝධය පළකරන ජනතාව පාර හරහා වැටී තිබූ ගස ඉවත් කිරීමෙන් වැළකී සිටිමට කටයුතු කළහ. මාර්ග අවහිරය නිසා ඒ ආසන්නයේ පදිංචිව සිටින ආබාධිත රණවිරුවන්ඇතුළු ජනතාව සිය අවශ්‍යතා සදහා ගමනාගමන පහසුකම් සලසා ගැනීමේ ගැටළුවකටද මුහුණ පා සිටියහ. 

සිහිවටනයක් සදහා ඉන්දවා තිබූ නුග ගස ගිනි තබා විනාශ කර මෙසේ පාරිසරික විනාශ්‍යක් සිදුකළ පුද්ගලයන් සොයා බලා නීතිමය පියවර ගත යුතු බව ජනතාව දැඩිසේ අවධාරණය කළහ. සිද්ධිය සැලවීමෙන් පසු එම ස්ථානය පැමිණි ගම්පහ පොලිසිය නිලධාරීන් සිදුකළ පරීක්ෂණයේ දී හෙළි වූ තොරතුරු මත මෙම ගස ඉරි තබා බිම හෙළා ඇතැයි කියන ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය.

ගිනි තබා විනාශ කරන ලද ඉන්දියානු නුගගස පිහිටි ස්ථානයේ ආසන්නයේ බිම් කොටසක් මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් ගේට්ටු නිලධාරියාට අයත් එකක් බව ද හෙළි වී ඇතැයි පොලිසිය කීය.