මුන්දලම කනමුල්ල පාලම යටින් මතුවූ ආයුධ ගබඩාව


(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
මුන්දලම කනමුල්ල හැමිල්ටන් පාලම යට ජලයේ සඟවා තිබු දැවැන්ත ආයුධ තොගයක් සොයා ගැනීමට මුන්දලම පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, නාවික හමුදා කිමිදුම්කරුවෝ පිරිසක් සමත් වූහ.

මෙසේ සොයා ගත් ආයුධ අතර බෝර 12 ජීව උණ්ඩ 24 ක්, බෝර12 ගිනි අවියක යාන්ත්‍රික කොටසක්, විදේශ රටකින් ගෙන්වූ විශේෂිත කඩුවක් සමඟ මෙරටදී සාදන ලද කඩු දෙකක්, පිහි 24 ක්, දුරදක්නයක්, දුරකථන කාඩ් කීපයක්, තඹ කම්බි රෝලක්, නැගෙනහිර පළාත හා බස්නාහිර පළාත තුළ භාවිතා කළ වාහන අංක තහඩු කීපයක්, අන්තර්ජාලය තුළට වේගයෙන් ගමන් කළ හැකි  රවුටර් කීපයක්, වාහන ඉන්ජේක්ටර් පොම්ප සඳහා යොදා ගන්නා නොසල් කීපයක්, ට්‍රාන්ස්පෝමර්වල පරිපථ ඇතුළු දෑ සොයා ගැණිනි.

මුන්දලම පොලිස් ස්ථානාධිපති සමන් ඒකකනායක මහතාට ලැබුණු තොරතුරක් මත අදාළ උපකරණ තොගය සොයා ගෙන තිබේ.

ජා ඇල සිට පුත්තලම ගලා එන පැරණි හැමිල්ටන් ඇළ ගලා බසිනා මාර්ගයේ පිහිටි කනමුල්ල පාලම යටට මෙම ආයුධ කිසියම් සංවිධානාත්මක කණ්ඩායම් ගෙනවිත් දමන්නට ඇති බවත් එයට හේතුව මේ දිනවල සිදුවන ආරක්ෂක අංශ සෝදිසි කිරීම්වල දී මෙම ආයුධ හමුවීම වැළැක්වීමේ අරමුණ බවත් ඔවුහු සඳහන් කරති. 

නාවික හමුදා කිමිදුම්කරුවන් පැය කීපයක් පුරා ජලයේ දැඩි සෝදිසි කිරීම්වල නිරත වී මෙම ආයුධ තොගය ගොඩගත් අතර එකම ස්ථානයකදී මෙතරම් ආයුධ තොගයක් හමුවු පළමු අවස්ථාව  ද මෙය වේ.