මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ආන්දෝලනයට තුඩුදුන් මුදල් පනත් කෙටුම්පතේ  වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන්නේය.

මුදල් පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති වන්නේ 4(1),5(1),5(2),5(3),5(4),5(5),6(1),7(1),12බී,13(1),14,20 සහ17ය.

මින් 17 වැනි වගන්තිය මුළුමනින්ම ඉවත් කළ යුතු බවටත්  සෙසු වගන්තිවලට  සංශෝධන ගෙන ආ යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් වන බව කතානායකවරයා පැවසුවේය.

එසේ කටයුතු කළහොත්  මෙම මුදල් පනත් කෙටුම්පත  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන තත්වයට පත්වෙන හෙයින් ඒ අවස්ථාවේදී එය  පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවද  ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම් දී ඇත.

මෙම පනත් කෙටුම්පතට එරෙහිව  ශ්‍රේෂ්ඨාධිකරණයට විවිධ පාර්ශව විසින්  පෙත්සම් ගණනාවක් පසුගිය දිනවල ඉදිරිපත් කෙරිණි. මුදල් විශුද්ධිකරණ පනත යටතේ  වරදකරුවන්වන පුද්ගලයන්ට මෙම පනත් කෙටුම්පතෙන් සුජාතභාවයක් ලැබෙන බව විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරති.