මුතුරාජවෙල පරිසර ඇගයීම් වාර්තාවට තවත් සති 8 ක්


(විනීතා එම්. ගමගේ)
            
මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිතව ගොල්ෆ් පිටියක් සහිත හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සම්බන්ධව සිදුකෙරෙමින් පවතින පාරිසරික අධ්‍යයන වාර්තාව ඉදිරි දෙමස ඇතුළත අවසන් වනු ඇතැයි එහි ආයෝජකයන් වන මැල්වත්ත සමාගම කියයි. 
            
එම ව්‍යාපෘතිය වාර්තාව සකස් කිරීමට නීතිපති අවසරය ලැබී ඇති අතර  නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 16 ක නියෝජනය සහිත කමිටුවකින් ද අවසර ලැබී ඇතැයි ද පරිසර අධ්‍යයන වාර්තාව සකස් කිරීම ආරම්භ කරනු ලැබූයේ ඉන්පසුව යැයි ද මේ පිළිබඳ කළ විමසීමක දී මැල්වත්ත සමාගමේ සභාපති අජිත් පණ්ඩිතරත්න මහතා ප්‍රකාශ කළේය. 
 
ආයෝජකයන් දිරිගැනීවීම කළ යුතු නමුත් වත්මන් රජය යටතේ පැමිණි විශාල ආයෝජන දෙකක් වන නැගෙනහිර ජැටිය හා මුතුරාජවෙල ව්‍යාපෘතිය යන ව්‍යාපෘතින් දෙකටම බාධා එල්ල වී යැයි කී සභාපතිවරයා මේ තත්ත්වය යටතේ රටට ආයෝජන පැමිණීම අඩුවනු ඇතැයි ද පැවැසීය. 
 
මහවැලිය ගල්ඔය ව්‍යාපාරය වැනි විශාල ව්‍යාපෘතින් මෙන්ම නොරොච්චෝලේ හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා දිගුව පවා හැදුණේ රාජ්‍ය නායකයන්ගේ නිර්භීත තීරණ මත යැයි පැවසූ පණ්ඩිතරත්න මහතා නිවැරදි හා නිර්භීත තීරණ ගැනීම දේශපාලන නායකයන්ගේ අවධානයට යොමු වියයුතු කරුණකැයි ද කියා සිටියේය.