මුඛ ආවරණ නැතිව ඇඹිලිපිටියට ආ පිරිස් පොලිසියෙන් හරවා යවති


(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
 
ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුලු පොලිස් නිලධාරින් අද(24) ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ මුඛ ආවරණ පැළඳ නොපැමිණි කිසිවෙකුටත් නගරයට ඇතුලුවීමට ඉඩ නොදීම හේතුවෙන් බොහෝ පිරිසකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදි ගැනීමට පවා නොහැකි වූ බව මහජනතාව පවසති.
 
මුඛ ආවරණ අනිවාර්ය බව පවසමින් නගරයට ඇතුලුවන මාර්ගවල පරීක්‍ෂාවේ සිටි පොලිසි නිලධාරින් දැනුම්දීම නිසා තමන්ට නගරයට නොගොස් ආපසු පැමිණීමට සිදුවු බවද ඔවුහු කීහ.
 
තම ගම්මානවල මුඛ ආවරණ මිලදී ගැනීමට ස්ථාන නැති බවත් ඒවා මිලදීගන්නට වුවත් ඇඹිලිපිටිය නගරයේ ඖෂධ වෙළෙඳසැල්වලට යායුතු වු  ඔවුහු පැවසූහ. එහෙත් නගර සභා සභාපතිවරයාගේ නියෝගය මත මුඛ ආවරණ නැති කිසිවෙකුටත් නගරයට ඇතුලුවීම තහනම් කරන ලැබීය.
 
පයින් ගමන් කරන අයට පමණක් නොව වාහනවල ගමන් කරන අයට ද ඒ තහනම බලපෑවේය. ඇඹිලිපිටිය නගරය සහ නගරසභා බල ප්‍රදේශයේ වැසියන්ගේ ආරක්‍ෂාවට එවැනි පියවරක් ගත්තා මිස මහජනතාව අපහසුතාවකට පත් කිරිමට එවැන්නක් නොකළ බව නගර සභා සභාපති ලලිත් ගමගේ මහතා පැවසීය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කළ වීඩියෝ පටයකින් අදහස් දක්වමින් කෝවිඞ් 19 වයිරසය සමාජීය පැතිරිමක් තවමත් දක්නට නොමැති නිසා මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව අවධාරණය කරයි. කෝවිඩ් වයිරසය තවමත් පැතිර යන්නේ සමීපතමයන් අතර පමණක් බවද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එමගින් අවධාරණය කරයි. නමුත් මුඛ ආවරණයක් පළඳින්නේ නම් එසේ නොකළ යුතුයැයි තමන් නොකියන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.