(නාලක සංජීව දහනායක)
කවුරු කුමන කයිවාරු ගැහුවත් මේ රටේ මීළඟ ජනාධිපතිවරයා බිහිවෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂය ප‍්‍රමුඛ බලවේගයෙන් යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අද (09) පැවැසීය.
මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වය දෙන ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රමුඛ කඳවුරෙන් රටේ ජනමතයෙන් සියයට 60ක් පමණ නියෝජනය වන බවද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
‘මේ රටේ පැවැති මැයි රැලි අතරින් අතිසාර්ථකවූත් දැවන්තවූත් මැයි රැලි පැවැත්වීමේ ගෞරවය මේ වන විට ඒකාබද්ධ විපක්ෂයට හිමිවෙලා ඉවරයි. ගෙවුණු අවුරුදු තුනේ දී අපි පවත්වන ලද කිරුළපනල ගෝල්ෆේස් මෙන්ම මෙවර ගාල්ල මැයි රැලිය ද ඊට සාක්ෂි දරනවා.
අපිට මතකයි පසුගිය වතාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය පැවැත්වුණෙත් ගාල්ලෙදි කියලා. ඒ රැලියට ආවා වගේ දහස් ගුණයක ජනතාවක් මෙවර ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට පැමිණ සිටියාග ඒකාබද්ධ විපක්ෂය මේ රටේ ආණ්ඩු හොල්ලපු බලවේගයක් බවට පත්වෙලා ඉවරයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී අපි ලෝකයටම පෙන්නුවා ආණ්ඩුවට වඩා ජනතාවක් අපිට ඉන්නවා කියලා. ඒ වගේම ආණ්ඩුවට එරෙහිව රට පුරා පවත්වන ලද සෑම ජනරැලියකදීම අපි අපේ ශක්තිය පෙන්නුවා. ඒ අනුව බලන කොට අද රට පාලනය කරන්නේ ජනවරමක් නැති ආණ්ඩුවක්.
ඒකාබද්ධයේ ශක්තිය කොච්චරද කියනවා නම් ජනාධිපතිගේ පක්ෂය මඩකලපුවට තල්ලු කරලා අගමැතිගේ පක්ෂය ගෘහස්ථ ක්‍රීඩාංගණයකට කොටු කරන්න තරම් හැකියාවක් අපට ලැබිලා තියෙනවා. දැන් ආණ්ඩුව මැයි රැලියක්වත් තියාගන්න බැරි තරම් දුර්වල තත්ත්වයකට වැටිලා ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ මට මතක ඇති කාලයේ පටන් මම තාත්තත් එක්ක මැයි රැලිවලට සහභාගී වෙලා තියෙනවා.
පක්‍ෂයේ ලේකම්වරු දෙන්නට පිං සිද්ධ වෙන්න ඉතිහාසයේ පළමු වතාවට වෘත්තීය සමිතිවල සහභාගීත්වයක් නැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි රැලියක් පැවැත්වුණ බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.