මීගමුවට ඇඳිරි නීතිය


(හිරාන් ප්‍රියකර ජයසිංහ)
මීගමුව පොරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (5) සවස ඇතිවු ගැටුමකින් පසු තත්වය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය මීගමුව ප්‍රදේශයට යෙදූ බව පොලිස් මුලස්ථානය කියයි.

මෙම ගැටුම මීගමුව කොච්චිකඩේ පොරුතොට ප්‍රදේශයේ අද සවස සිදුව ඇත්තේ එක් පාර්ශවයක තරුණයින් දෙදෙනෙකුට, අනෙක් පාර්ශවයේ පිරිසක් පහරදී කැපුම් තුවාල සිදු කිරීමත් සමග බව කියයි.

පසුව පහර කෑමට ලක්වු පිරිසේ විශාල පිරිසක් පොරුතොට ප්‍රදේශයට කඩා වැදී ප්‍රකෝපකාරි අයුරින් හැසිරී ඇති බවත් එහිදි වාහන කීපයකට හා වෙළඳසැල් ගණනාවකටත් හානි සිදුව ඇති බවත් ඒ සමගම ආගමික ස්ථානයකටත් හානි සිදුව ඇති බවද කියයි.

 පසුව පොලිසිය හා යුද හමුදාව එක්ව තත්වය පාලනය කරමින් පවතින බවද වාර්තා වෙයි. මෙම තත්වය පාලනය කිරීමට වහාම අදාල ගැටුම ඇතිවු ප්‍රදේශය ඇතුළු මිගමුව පොලිස් කොට්ඨාශයටම ඇඳිරි නීතිය හෙට උදෑසන 7 දක්වා ක්‍රියාත්මක කිරීමට පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

 

පොරුතොට වාහනයක් ගිනි තබා ඇති අයුරු