
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තමා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ලබන නොවැම්බර් 25 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (03) නියම කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී.නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවිණි.
මෙම පෙත්සම අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ඉල්ලා ඇති සහන සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ නියෝග ඇති බැවින් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාම අවශ්‍යතාවයක් නොමැති බවය.
නමුත් ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කාර හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගෙන ඇත්තේ නීතීයට පටහැනි බැවින් , සිය පෙත්සම ඉදිරියට පවත්වා ගෙන යන බවය.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ලබන නොවැම්බර් 25 වැනි දිනට කල් තබන ලදී.
රැඳවියකුගේ පරිහරණය සඳහා ශීතකරණයක් දුන්නැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඞ්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, නීතිපතිවරයා සහ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාර හිටපු බන්ධනාගාර අධිකාරිවරයා සිය පෙත්සමින් කියා සිටින්නේ මිගමුව බන්ධනාගාරය තුළ රිමාන්ඞ් භාරයට පත්කර තිබූ රැඳවියෙකුට ශීතකරණයක් ලබාදීමේ සිද්ධියක් මුල් කරගෙන තමන්ව ඉකුත් මැයි මස 27 වන දා කළුතර බන්ධනාගාරයටත් ඉන් අනතුරුව කොළඹ බන්ධනාගාරය වෙතත් මාරු කිරීමට පියවර ගැනුණු බවත් , ඉන්පසුව වැඩතහනමට ලක් වූ බවය.
ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තමාව අත්අඩංගුවට සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබෙන බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සදහන් කර ඇත.
බන්ධනාගාර ආඥා පනතේ 196 වන වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකුට අවශ්යතාවයක් මතු වූ විට ඉලෙක්ට්රොනික උපකරණ සපයා දීමේ නීතිමය හැකියාවක් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කාර බන්ධනාගාර අධිකාරිවරයා ඒ අනුව ශීතකරණයක් සැකකරුවෙකුට ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය දරන වෑයම නිතියට පටහැනි බවද පෙත්සම්කරු කියා සිටී.
ඒ අනුව තමා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් උපදෙස් නිකුත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , පෙත්සම්කරු සිය රිට් පෙත්සම මගින් අභියාචනාධිකරණය ඉල්ලා සිටී.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක , නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් යන මහත්වරුන් පෙනී සිටියහ.

