මීගමුව වෙඩිතැබීම සිද්ධියේ යතුරුපැදිය හමුවෙයි


(ටී.කේ.ජී.කපිල )

මීගමුව , ගල්කන්ද හංදිය ප්‍රදේශයේ 60 පුද්ගලයෙකුට වෙඩි තබා මරා දැමීමට යොදා ගත් යතුරු පැදිය අද(11 ) දහවල්  කටුනායක , අමන්දොළුව , අලුත් හේන පාරේ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම වෙඩි තැබීම ඊයේ (10) රාත්‍රී 07.00 ත් 07.10 අතර සිදු වී තිබූ අතර ඉන් පැය දෙකකට පමණ පසුව මේ යතුරු පැදිය පිළිබඳ තොරතුරු  මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබී තිබුණි .

මීගමුව සහකාර පොලිස් අධිකාරී රත්නායක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් , සීදුව පොලිසියේ නිලධාරීන් ද , රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කළහ . 

එසේම මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුබද්ධිත " නීරෝ " නැමැති ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයා යොදා ගෙන , එම යතුරු පැදියේ තිබූ ඇගිලි සළකුණු ඇසුරෙන් ද විමර්ශන කටයුතු සිදු කළ අතර , වෙඩික්කරුවන් එම ස්ථානයේ යතුරු පැදිය දමා පා ගමනින් පළා ගොස් ඇති බව පොලිසිය විසින් අනාවරණය කර ගත්හ .