මීගමුව රෝහලේ එක්ස් කිරණ යන්ත්‍රය අක්‍රීය වීමෙන් රෝගීන් අසීරුවට


(ප්‍රසාද් මුතුකඩ )


රුපියල් කෝටි පහකට  අධික  වටිනා මීගමුව  මූලික  රෝහලේ  එක්ස් කිරණ යන්ත්‍ර දෙකක්  මාස තුනකට ආසන්න කාලයක් ක්‍රියා  විරහිතව පැවතීමෙන් රෝගීන් දැඩි අසීරුතාවයකට ලක්වී  ඇතැයි  රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

2002 වර්ෂයේ  සිට  ක්‍රියාත්මකව  පැවති  ජාපානයේ නිෂ්පාදිත මෙම එක්ස් කිරණ යන්ත්‍ර දෙක අතුරින්  වඩාත් කාර්යභාරයක් ඉටුකළ  ප්‍රධාන එක්ස්  කිරණ යන්ත්‍රයේ විශේෂ පරික්ෂණ  සිදු කරනු ලබන ඒකකය  මේ වන විට අක්‍රීව පැවතීමෙන් හදිසි අනතුරු රෝගීන්  මෙන්ම අනිකුත් රෝගී තත්වයන් සඳහා එක්ස් කිරණ වලට යොමු කෙරෙන්නන් රෝහල ඉදිරිපිට  ඇති පෞද්ගලික  රෝහලකට  ගිලන් රථ යොදවා  එම කාර්ය  අධික මුදල් ගෙවා ඉටුකර ගැනීමට රෝහලට  සිදුව ඇතැයි   එහි වෛද්‍ය වරු පවසති.

එමෙන්ම නව ගොඩනැගිල්ලේ  පහත මාලයේ ස්ථාපිත කර තිබු  එක්ස් කිරණ යන්ත්‍රය රෝහල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන්  දුවිලි වැදී අක්‍රියව  පසෙකලා තිබෙන බවද වෛද්‍ය නිළධාරින් පිරිසක් කීය.

මෙම තත්වය යටතේ  අසරණ රෝගීන් ,වෛද්‍ය වරුන්  ,විකිරණ තාක්ෂණික ශිලිපින් මෙන්ම  කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත්  බස්නාහිර පළාත්  සෞඛ්‍යය අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක රෝහලක්   බැවින්  රෝහලේ අඩුපාඩු දන්වා සිටියදී නිසි බලධාරින් මුනිවත රකිමින් සිටින බවද ඔවුන් පවසා සිටිති. 


මේ පිළිබඳව කළ විමසීමකදී  මීගමුව මූලික රෝහලේ  වෛද්‍ය අධිකාරි හේමන්ත රණසිංහ  මහතා  මෙලෙස පැවසීය. 


‘‘මේ විනාශ වී ඇත්තේ  මහජනතාවගේ  සම්පත්  මේ යන්ත්‍ර බොහෝ පැරණි ඒවා නමුත් විකිරණ තාක්ෂණික ශිලිපින් ඇතුළු පිරිස් ඔවුන්ගේ කැපවීම මත මෙතෙක් කල්  කෙසේ හෝ ඒවා භාවිතා කර රෝගී සුව මෙහෙවරට  දායක වුණා.

ගුවන්තොටුපළට ආසන්නම රෝහල  බැවින් හැම මොහාතකම සීරුවෙන් අප සැම දෙනා සිටිය යුතුයි අවශ්‍ය පහසුකම් නොමැතිව මෙය පවත්වා ගෙන යාම අසීරු කාර්යක් තිබෙන ගිලන රථ අබලන් ජනපති සහ ප්‍රභූ සේවා කටයුතු වලට යවන ගිලන් රථ වේගය හැටට වඩා යන්න අමාරුයි මේ සියළු කටයුතු හරියාකාරව කිරීමට මෙම රෝහල  මධ්‍යම රජය යටතට පැවරෙන්නේ නම් සැමට මනා වෛද්‍ය සේවයක් මෙමගින් ඉටු කරනට හැකියාව ඇති බව කියන්නට අවශ්‍යයි.