මිහින් ලංකා ගැන සොයන්න ජනපති කමිටුවක්


(ඩයනා උදයංගනී)

මිහින් ලංකා ආයතනයේ ආරම්භක අධ්‍යක්‍ෂ මණ්ඩලය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන යන මහත්වරුන් කටයුතු කර ඇති බව අනාවරණය වූ බවත් ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමටත් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ බව සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

මිහින් ලංකා ආයතනය පාඩු ලබන්නට ද ප‍්‍රධානතම හේතුවක් වී ඇත්තේ ගුවන් යානා සම්බන්ධයෙන් කිසිත් නොදන්නා මෙවන් පිරිසක් අධ්‍යක්‍ෂ මණ්ඩලය ලෙස කටයුතු කිරීම වන්නට ඇතැයි අමාත්‍යවරයා කීවේය.

ශක්‍යතා වාර්තා ආදිය නොමැතිව මෙයට ගුවන් යානා ආදිය මිලදී ගැනීමත් දේශපාලන ගැත්තන් අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත්කරගැනීමත් මෙහි අධික ණය බරක් පැවතීමට හේතුව බව ද ඇමතිවරයා කීවේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (1) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.