මිලියන 23 ක PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශයට


මලිෂා ගුණවර්ධන

කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සදහා රුපියල් මිලියන 23 ක වටිනාකමකින් යුත් PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම අද (1) සිදුකෙරිණි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාරදෙනු ලැබීය.

විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ඉල්ලීම පරිදි අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් මෙම නව උපකරණ ලබාදී තිබේ.

මෙම උපකරණ පද්ධතියට සියලුම උපාංග ද ලබාදෙනු ලැබ ඇත. රුපියල් මිලියන 23 ක් වටිනා නව PCR පරීක්ෂණ යන්ත්‍ර දෙක පරීක්ෂණ සේවා අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන අදාල රෝහල් වෙත ලබාදිමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර ඇත.

කොරෝනා ආසාදිත රෝගීන් හදුනාගැනීමේ කටයුතු කඩිනම් කිරිම මෙම පරිත්‍යාගයේ අරමුණ බව මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොරෝනා වයිරසයට ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අදිටනින් අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒ්ජන්සිය කළ මෙම පරිත්‍යාගයට සිය ස්තූතිය පුද කරන බවයි.  මෙම උපකරණ කඩිනමින් ස්ථාපිත කර පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ , විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.