මිලියන 20 ක අල්ලස් ගත් දෙදෙනා ජුනි 5 දා දක්වා රිමාන්ඩ්


මනෝප්‍රිය ගුණසේකර සහ නිමන්ති රණසිංහ
 
කන්තලේ සීනි සමාගමට අයත් ගොඩනැගිලි හා යන්ත්‍ර උපකරණ පවරා දිම සඳහා ඉන්දීය ජාතිකයකුගෙන් රුපියල් මිලියන 100 ක අල්ලස් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ගනිද්දී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ සභාපති ජුනි 5 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (22) නියම කළේය.


මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවත් ඉන්දීය ජාතිකයා සමඟ කතා කළේ මෙම විත්තිකරුවන් ම ද යන්න සනාථ කිරිමට ඔවුන්ගේ හඬ පට රජයේ රස පරික්ෂකවරයා වෙත යවා පරික්ෂණ සිදුකරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා  ඔවුන් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.


ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාම සහ දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන මහත්වරු මෙලෙස රිමාන්ඩ් ගත කෙරිණි.


අල්ලස් කොමිසම වෙනුවෙන් සුනේත්‍රා ජයසිංහ,සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනී සහ උසාවි අංශයේ ස්ථානාධිපති කේ.කේ.ප්‍රේමසිරි යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.