මිලානෝ නගරයට කොන්සියුලර් කාර්යාලයක්


ඉතාලියේ මිලානෝ නගරයට කොන්සියුලර් කාර්යාලයක් ලබාදීමට පියවර ගෙන ඇතැයි රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. විදේශ කටයුතු අමාත්‍යංශය විසින් එම කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් ලෙස ප්‍රදීපා සේරම් මහත්මිය දැනටමත් පත් කර ඇතැයි තානාපති කාර්යාලය සඳහන් කරයි.

1998 වසරේ විදේශ අමාත්‍යංශයේ සේවයට එක්වු සේරම් මහත්මිය අබුඩාබි සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කර තිබේ. ඇය වර්තමානයේ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් ද සේවය කරන්නීය. මේ අනුව ඉදිරියේදී මිලානෝ නගරයේ මෙන්ම අවට ප්‍රදේශ වල වෙසෙන ශ්‍රී ලංකා ජනතාවට තානාපති කාර්යාලයීය සේවාවන් මෙම කාර්යාලය මගින් සිදුකර ගත හැකිවේ.