මිල්කෝ සේවකයෝ ලාබ පෙන්වන්න එක් වෙති


(අංජුල මහික වීරරත්න)

මිල්කෝ ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා එහි සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව තීරණය  කර ඒ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මිල්කෝ සමාගම් පරිශ්‍රයේ පැවැති  සාකච්ඡාවකදී වෘත්තීය සමිති නියෝජිතයෝ මේ කාරණය දැනුම් දුන්හ.

 මෙම සාකච්ඡාවට සියලු කාර්ය මණ්ඩල සහ වෘත්තිය සමිති නියෝජිතයින් ද සහභාගි වී සිටි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පාලනාධිකාරියේ වැරදි තීරණ හේතුවෙන් පසුගිය වසර දෙකක කාලයක් මිල්කෝ සමාගම දිගින් දිගටම පාඩු ලැබූ බව අමාත්‍යාංශය කියයි.

මිල්කෝ  සමාගමේ කිරි ලීටර් 165,000කින් නිෂ්පාදන කටයුතු කළද පසුකාලීනව කිරි ලීටර් 55,000 දක්වා  නිෂ්පාදනය අඩුවීම සම්බන්ධව පාලනාධිකාරිය අනිවාර්යෙන්ම වග කිව යුතු බව එම සාකච්ඡාවේදී වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දී තිබේ.