මිරිස්සේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කෙරේ


(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
 
වැලිගම මිරිස්ස වෙරළ තීරයේ ඇති අනවසර ඉදිකිරීම් පොලිස් ආරක්ෂාව යටතේ කඩා ඉවත් කිරීම අද (11) වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළේය.

 
අනවසර ඉදිකිරීම් ලෙස හඳුනාගත් හෝටල් 20 ක් එහිදී බැකෝ යන්ත්‍ර යොදා කඩා ඉවත් කළ අතර ඊට ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවයද එල්ල විය. ඒ සඳහා පොලිසිය විසින් පොලීස් නිලධාරීන් සහ කදුලුගෑස් සහිතව කැරලි මර්ධන කණ්ඩායම් සීරුවෙන් තබා තිබුණි.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාල අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කිරීමෙන් පසු පොලීසියේ සහාය මත එම කටයුතු සිදුවිය.
 
මිරිස්සේ දී ඉකුත් අප්‍රේල්  මස 08 වන දින විදේශීය ජාතිකයින් තිදෙනෙකුට එල්ල වු හිරිහැර හේතුවෙන් සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා මෙලෙස අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කළ බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
 
පූර්ව දැනුම් දීමකින් තොරව ඉදිකිරීම් කඩා ඉවත් කිරීම ගැන හෝටල් හිමියන් රජයට චෝදනා කළ අතර වෙරෙළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එසේ කඩා ඉවත් කර ගැනීමට ඔවුන්ට සහන කාලයක් ලබා දුන් බවත් ඊට අවනත නොවු ඉදිකිරීම් සියල්ල තම දෙපාර්තමේන්තු බලතල යටතේ කඩා ඉවත් කිරීමට කටයුතු කළ බවත්ය.