මිරිස්ස වෙරලේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න ජනපති උපදෙස්


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
වැලිගම මිරිස්ස මුහුදු වෙරල තීරයේ සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙරල සංරක්ෂණ හා වෙරල සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇත
.
 
ඒ අනුව අනවසර ඉදිකිරීම් ලෙස දැනට හඳුනා ගෙන ඇති හෝටල් 18 ක් පොලිස් ආරක්ෂාව යටතේ කඩා ඉවත් කිරිමේ කටයුතු අනිද්දා (11) දින සිදු කිරීමට සැලසුම් කර තිබේ.
 
ඒ සඳහා පොලීසියේ නිලධාරීන් සිය දෙනෙකු විශේෂ රාජකාරී යටතේ වැලිගම මිරිස්ස වෙරල තීරයට කැඳවා තිබෙන අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවා ගැනීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
ඊට අමතරව ජල හා කඳුළු ගෑස් සහිතව කැරලි මර්දන කණ්ඩායම් කිහිපයක් ද සීරුවෙන් තබා ඇත.
 
අදාල හෝටල් හිමියන් හා ප්‍රාදේශීය දේශපාලඥයින්ගෙන් එල්ල විය හැකි විරෝධතා පාලනය කිරීම සඳහා අධිකරණ නියෝගයක් ද ලබා ගැනීමට කටයුතු කරන බව පොලීසිය කියයි.