මිනීමරු දළ ඇතා වනජීවියේ වාහනයට පහර දෙයි


(ප්‍රියාණි මංගලිකා)

කොටවෙහෙර ප්‍රදේශයේ වන අලි පලවා හැරීමට ගිය නිකවැරටිය වනජීවි නිලධාරීන්ගේ වාහනයට අද (12) මිනී මරු දළ ඇතාගේ පහරදීමට ලක් වූ බව වනජීවි අංශ සඳහන් කරයි.

වාහනයේ ඉදිරිපසට දළ වලින් පහර දෙමින් වාහනය අඩි 15ක් පමණ  පසුපසට තල්ලු කරමින් වාහනය පෙරළා දැමීමට උත්සාහ දරද්දී දළ ඇතාට වෙඩි තබා නිලධාරීන් අට දෙනෙකු  දිවි බේරා ගත් බවද වනජීවි අංශ සඳහන් කරයි .

මිනීමරු වල් අලියා පෙර දින සිදුකළ පහරදීමෙන් පුද්ගලයකු මරණයට පත්ව ඇති අතර එදිනම සිදුවූ තවත් පහර දීමකින් ගොවියකු සහ රෝහල් සේවකයකු රෝහල් ගතකර තිබේ.

ප්‍රදේශයට සංක්‍රමණය වී ඇති 100 පමණ වූ වල් අලි රංචුව හේතුවෙන් සම්පූර්ණයෙන්ම ජනජීවිතය අවුල් වී,ජනතාව මර බියෙන් ජීවත් වන බව ගම්මු පවසති.

මෙම  දරුණු ඇතා සහ ජීවිත තුනක් බිලි ගත් මිනී මරු අලියා අල්ලා රැගෙන යන ලෙසත් සෙසු අලි රංචු පලවා හැරීමට පියවර ගන්නා ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.