බීමට දිය පොදක් නැතිව ළතැවෙන පොළොන්නරුව වැලිකන්දේ ගම්වැසියන් කබලෙන් ලිපට වැටී ඇත්තේ ජලය සොයා ගම්මානය දෙසට ඇදෙන වල් අලින්ගෙන් බේරීමට අමතර වෙහෙසක් දැරීමට සිදුවන නිසාය.
‘‘අලි වැටක් තිබුණත් වතුර නැති නිසා අලිවැට අර්ත් වෙන්නේ නෑ. ඉතින් ගම්මානයට අලි එනවා.̎ යැයි සිංහපුර ගොවි සංවිධානයේ සභාපති වික්‍රම රාජපක්ෂ මහතා කීවේය.
කොළඹ සිට කිලෝමීටර 256ක් දුරින් පිහිටි වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම සේවා වසම් 23කින් සමන්විතය. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය තොරතුරුවලට අනුව එම කොට්ඨාසයේ ජලය නැතිව පීඩා විදින සංඛ්‍යාව 29248 දෙනෙකි.
යුද්ධය නිසා දෙවතාවක් වැලිකන්ද අතහැර ගියත් 1992 වසරේ සිට වැලිකන්ද මහවැලිතැන්න ගම්මානයේ ජීවත් වන අයි එල් එම් හනීෆාගේ වත්ත පමණක් නොව වත්තේ ඇති ළිඳ ද පැළිවලම් පැලී ඇත්තේ තුන් මාසයක සිට පවතින වැසි රහිත වියළි කාලගුණය නිසාය. හනීෆා සහ ඔහුගේ බිරිය එම් පාතුම්මා මෙන්ම මහවැලිතැන්න ගම්මානයම ජලය සපයා ගන්නේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ මෙහෙයවීමෙන් බෙදා හරින ජල බවුසරයෙන් ලැබෙන ජල ලීටර කිහිපයෙනි.
‘යුද්ධය නිසා දෙතුන් පාරක් ගම දාලා ගිය අපිට දැන් වතුර නැතිව ඊටත් වඩා පීඩාවක් විදින්න වෙලා තියෙන්නේ. ළිදත් වතුර නැතිව පැළිලා. පායන නිසා ඉන්න බෑ රස්නෙයි. හැම අවුරුද්දෙම මෙහෙම තමයි. හැබැයි මේ අවුරුද්දෙ ටිකක් දරුණුවට බලපාලා තියෙන්නේ. හම්බෙන වතුර ටික ගෑවෙන්නත් මදි.‘ යැයි එම් පාතුම්මා (59) කීවාය.
වැලිකන්දේ සිට මහවැලිතැන්න ගම්මානය බලා කිලෝමීටර තිහක් පමණ යද්දී දෙපසින්ම පෙනෙන්නේ වියළී ගිය කුඹුරු සහ ජලය හිදුණු ඇල පාරවල්ය. අතරින් පතර කටු මැටි ගෙවල්ය. අධික පෑවුමට ඔරොත්තු දෙන ගස් කොළන් කිහිපයක් පමණක් ඉතිරිව තිබුණත් ප්‍රදේශයේ බොහෝ ගස්වල කොළ නැත. ඇත්තේ කොළ හැලී ගිය අතු රිකිලි පමණි. නිවාස දහයක් පහළොවක් පාසා පාර අයිනේ කුඩා වතුර ටැංකි තබා තිබිණි. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ මෙහෙයවීමෙන් දිනකට රුපියල් ලක්ෂයක් පමණ වියදම් කර බෙදා හරින බවුසර ජලය එකතු කර ගැනීමටය.
පොළොන්නරුව ගල්ලෑල්ලෙන් ජලය පුරවා ගන්නා ලොකු බවුසර එතැන් සිට ගම්මානවලට යෑමට කිලෝමීටර 55ක් දුර ආවත් ඇතැම් ගම්මානවල අතුරු පාරවල් පටු නිසා බවුසර යෑම අසීරුය. වැලිකන්දේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 28 සදහාම ඇත්තේ ජල බවුසර 16ක් පමණි. ඒවාද සපයාගෙන ඇත්තේ ඉතා අපහසුවෙනි. කිලෝමීටර 55ක් පමණ දුර පැමිණ ජලය බෙදා නැවත ගොස් ජලය ලබා ගැනීම අසීරු කාර්යයක් බව ජල බවුසර රියදුරකු කීවේය. ‘දුර වැඩි නිසා දවසට එක බවුසරයකින් වතුර බෙදන්න ලැබෙන්නේ දෙපාරක් විතරයි.‘ යැයි එම රියදුරා සදහන් කළේය. වතුර බවුසරයෙන් දෙවරක් වතුර බෙදීමට නම් එම බවුසරය යා යුතු මුළු දුර කිලෝමීටර 220කි.
කුඩා ළමයින් සිටින පවුල්වලට ජල ගැටළුව වඩාත් තදින් බලපාන බව මහවැලිතැන්නේ සමන් මහතා පැවසීය. ඔහු දෙදෙරු පියෙකි. වී ගොවිතැනෙන් ජීවත් වන ඔහු මේ දිනවල දිවි ගෙවන්නේ දැඩි අපහසුවෙනි. ‘අපි ගොවිතැන් කරනවා. දැන් පායන නිසා ගොවිතැන් කරන්න බෑ. වතුර නැති නිසා වතුර හොයාගෙන අලි එනවා. රෑකට අසනීපයක් වුණොත් බෙහෙත් ගන්න යන්න කිලෝමීටර තිහක් පමණ යන්න ඕනෑ. අලි ගහන නිසා යන්න බෑ. කළින් දවසේ උදෙත් දොර අරිද්දී අලියෙක් දොරකොඩ. අපි හරිම බයෙන් දැන් ජීවත් වෙන්නේ.‘ යැයි සමන් කීවේය.
දවස් දෙක තුනකට වරක් මහවැලිතැන්නේ වැවට ජලය සපයනුයේ ගම්වැසියන්ට දිය නෑම සදහාය. එනමුත් කැලේ වැව් රැසක් හිදී ගොස් ඇති නිසා ජලය සොයා වැවට අලි ඇතුන් ඇදෙන හෙයින් දිය නෑම අවධානම් සහගත බව ගැමියෙක් පැවසීය.
වනජීවී ආරංචි කියනුයේ වැලිකන්ද කොට්ඨාසය ආශ්‍රිතව අලි ඇතුන් 400ක් පමණ සිටින බවයි.
මහවැලිතැන්නට අප යන අවස්ථාවේදී වියළී ගිය කැළය පැත්තේ සිට විසි දෙනකුගෙන් පමණ සමන්විත අලි රංචුවක් වැවට පැමිණ දිය බී යළි කැළය දෙසට යනු දක්නට ලැබිණි. එම අලි රංචුව පැමිණෙන්නේ ත්‍රිකෝණමඩු රක්ෂිතය දෙස සිට බව ගම්වැසියෙක් කීවේය.
ගම්මානය හා වනාන්තරය වෙන් කරමින් රුපියල් ලක්ෂ 2800ක වියදමින් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයෙන් කිලෝමීටර 29ක පමණ අලි කොරිඩෝවක් මෑතකදී ඉදි කළේය. ත්‍රිකෝණමඩු රක්ෂිතයත් මාදුරුඔය රක්ෂිතයත් යා කරමින් එම අලි කොරිඩෝව ඉදි කර ඇතත් ගම්මානයට පැමිණි අලි තවමත් එම කොරිඩෝවට පලවා හැර නැතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ප්‍රකාශකයෙක් කීවේය. ඒ සදහා තවත් කාලයක් ගත වනු ඇතැයි ඔහු කීවේය.
ජලය වෙනුවට දූවිල්ලෙන් නැහැවෙන වැලිකන්දේ ප්‍රාදේශීය ලේකම්වරයා හර්ෂ බණ්ඩාර මහතාය. ප්‍රදේශයට ජලය සපයා දීමට මේ දිනවල දැඩි වෙහෙසක් ගන්නා බණ්ඩාර මහතා කීවේ ප්‍රදේශයේ ජල උල්පත් අඩු බවයි. ඇත්තේ ඉහළ ප්‍රදේශවලින් එන ජලය බව ඔහු සදහන් කළේය.
‘මාදුරුඔය ජලාශයෙන් තමයි වැඩිපුරම මේ ප්‍රදේශයට ජලය එන්නේ. වී වගාකරන කන්න වලට ඊට ඇති වෙන්න ජලය එවනවා. අනිත් කාලවලට ඉහළ ප්‍රදේශවලට පෑව්වොත් මෙහෙට වතුර අඩු වෙනවා. අපි දැඩි වෙහෙසක් අරගෙන මේ ගම්මානවලට වතුර බෙදනවා. ඉදිරියේදී පොළොන්නරුව නැගෙනහිර ජල ව්‍යාපෘතිය ආරම්භ වුණාම මේ ගැටළුවට විසඳුම් ලැබෙයි.‘යැයි බණ්ඩාර මහතා සඳහන් කළේය.
ප්‍රදේශයට ජලය සැපයීමට ප්‍රාදේශීය ලේකම්වරයා දැඩි වෙහෙසක් ගනු දක්නට ලැබිණි.
යුනෙස්කෝ සංවිධානයේ ලෝක ජල සංවර්ධන වාර්තාව සකසන කාන්තා පුරුෂ සමාජභාවය පිළිබද කමිටුවේ සම සභාපති කුසුම් අතුකෝරල මහත්මිය ජල ප්‍රශ්නය ගැන මෙසේ කීවාය.
අපි කරන්න ඕනෑ දේශගුණ විපර්යාසවලට අනුගත වීමයි. නමුත් අපේ සමාජේ ඊට සූදානම්ද? සමහර වැව් හදලා තියෙන්නේ ජලය රදවා ගන්න. ඇතැම් වැව් සතුන් සදහා. නමුත් දැන් වැව් රැසක් නෑ. තියෙන වැව් භාවිත කරන්නේ කෘෂිකාර්මික වැඩවලට පමණයි. අපි දේශගුණ විපර්යාසයන්ට අනුගත විය යුතුයි. වර්ෂාපතනය අඩු වීගෙන එද්දි අපි දන්නවා දැන් නියඟයක් අත ළඟ බව. නමුත් අපි මොනවත් කරනවාද? අපි ඊට සූදානමක් නෑ. බවුසර්වලින් වතුර දෙන්නත් ජලය තිබිය යුතුයි. අපේ ජල මූලාශ දැන් ගොඩක් හිදිලා. කදුකරයේ ගස් කපන එක නැවැත්විය යුතුයි. ජල ගැටළුව විසදීමට නම් ගෙවල් මට්ටමින් ජල කළමනාකරණයක් විය යුතුයි. ඒ වගේම රජයේ ආයතන එක් වෙලා තීන්දු තීරණ ගත යුතුයි. නිසි සම්බන්ධීකරණයක් ඇතිව වැඩ කටයුතු සිදු කළ යුතුයි.‘‘
(ඩ්‍රෝන් ඡායාරූප හා වීඩියෝ සංජන හත්තොටුව )