මිනිසුන් එකතු කරන්න හැකියාව තියෙන්නේ අධ්‍යාපනයට


(අංජුල මහික වීරරත්න)

මිනිසුන් දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් එක් කිරීමට හැකියාව ඇත්තේ අධ්‍යාපනයට බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 

කොළඹ ගාලු මුවදොර හෝටලයේ අද  18) පැවති හරිත සංක්‍රාන්තිය තුළ අධ්‍යාපනයේ කාර්යභාරය සම්බන්ධව ආසියා, මැදපෙරදිග, පැසිෆික් කලාපයේ රටවල් අතර සහයෝගීතාවය ඇති කර ගැනීමේ සම්මන්ත්‍රණය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  මේ බව කීවාය. 

යුරෝපීය සංගමය විසින් අරමුදල් සපයනු ලබන Erasmus+ වැඩසටහන, අධ්‍යාපනය, පුහුණුව, තරුණයින් සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ලොව ප්‍රමුඛතම වැඩසටහනකි. රටවල් අතර සංචලතාව, අන්තර් සංස්කෘතික හුවමාරුව, ධාරිතා සංවර්ධනය සහ ප්‍රතිපත්ති සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණුයි. 

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ  උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, තරුණ සංවර්ධනය සහ ආයතනික හවුල්කාරිත්වයන් සඳහා සහයෝගීතාව සහ අරමුදල් සැපයීම සඳහා අවස්ථා නිර්මාණය කරන අතර  මෙම සම්මන්ත්‍රණය මේ මස 18 සිට 20 දක්වා කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී  පැවැත්වේ. 

"පශ්චාත් යටත් විජිතවාදයේ  උරුමයක් ලෙස අපට ලැබුණු අධ්‍යාපනයේ  ප්‍රතිඵලයක් ලෙස අපේ රට ඉහළ සාක්ෂරතා අනුපාත ඇති රටක් බවට පත්වෙලා තිබෙනවා. 

නමුත් වර්තමානය වන විට අධ්‍යාපනය  පුද්ගල සාර්ථකත්වය සහ ජයග්‍රහණය  පමණක් ඉලක්ක කරගත් දෙයක් බවට පත් වී තිබෙනවා.  මේ නිසා, අධ්‍යාපනයේ සැලසුම් සහ මූලධර්ම තරඟකාරිත්වය මත පදනම් වෙලා තිබෙනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.