(දිල්රුක්ෂි ග්‍රේරු)
නීති විරෝධී මිනිස් වෙළදාමට එරෙහිව කටයුතු කරන රටවල් අතර ඉදිරියට පැමිණීමට ලංකාවට හැකියාව ලැබී ඇති අතර මිනිස් වෙළදාමට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගන්නා පියවර ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇගයීමට ලක්ව තිබේ.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ තැනැන්තන් වෙළදාම සම්බන්ධයෙන් වන නවතම වාර්තාව අනුව ලංකාව දෙවැනි මට්ටමේ රැදී සිටින අතර මිනිස් ජාවාරමට විරුද්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන තිබෙන පියවර පිළිබද එහි විශේෂ ඇගයීමට ලක් කර ඇත.
මෙය ජාත්‍යන්තර වශයෙන් ලංකාවට ආධාර ලබාගැනීමේදී රටට වාසිදායක බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
“මිනිස් වෙළදාම කියන්නේ දේශසීමාවන් ඉක්මවා ගිහින්, අධිකරණ බල සීමාවන් ඉක්මවා ගිහින් ජාත්‍යන්තරව සංවිධායන වෙලා කරන අපරාධවලින් එකක්. මිනිස් වෙළදාම ජාත්‍යන්තරව වගේම ලංකාවේත් නීති විරෝධීයි. මිනිස් වෙළදාමට සම්බන්ධවෙන කවුරුන් හෝ වේ නම් ඔවුන්ට දණ්ඩ නීති සංග්‍රහය අනුව දඩුවම් ලබාදිය හැකියි.
මිනිස් වෙළදාමට විරුද්ධව විධිමත්ව කටයුතු කිරීම සදහා කාර්යසාධක බලකායක් පිහිටුවනු ලැබුවා. අධිකරණ අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන එකතු වෙලා තමයි මේ කාර්ය සාධක බලකාය පිහිටවා තිබෙන්නේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ මිනිස් වෙළදාම මැඩලීමේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. තලතා අතුකෝරළ ඇමැතිවරියගේ කාලයේදී මෙය ආරම්භ කළා.
වර්තමානයේවිදේශ රැකියා ක්ෂේත්‍රය භාර කැබිනට් ඇමැතිවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් මිනිස් වෙළදාම වැළැක්වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැත්තෙන් ගන්න පුළුවන් උපරිම පියවර ගැනීමට අපිට උපදෙස් ලබාදී තිබෙනවා.
මේ වසරේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නීති විරෝධී මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් වන වාර්ෂික වාර්තාව සකස් කිරීමේදී මහජනතාව මේ වරද සම්බන්ධයෙන් දැනුවත් කිරීමට රාජ්‍යයන් ගෙන ඇති පියවර ගැන අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිවයින පුරා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන, රාජ්‍ය නිලධාරීන් හා පොදු මහජනතාව දැනුවත් කිරීමට ගෙන තිබෙන පියවර අගය කර තිබෙනවා.
ඒ වගේම තමයි විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් මිනිස් වෙළදාමට ගොදුරුවීම වැලැක්වීම සදහා තානාපති කාර්යාලවල නිලධාරින් දැනුවත් කිරිමට පියවර ගත්තා. ඒ පියවරන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇගයීමට ලක්ව තිබෙනවා.
නීති විරෝධි මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් අපි ගන්නා පියවර මෙතැනින් නැවැත්විය යුතු නැහැ. තවදුරටත් ඉදිරියට යාමට අවශ්‍යයි. ඉදිරියේදී මිනිස් වෙළදාම මුලිනුපුටාදැමීම සදහා පනතේ අඩංගු ප්‍රතිපාදනයන් හි අවම ප්‍රමිතීන් සම්පූර්ණ කරගැනීම සදහා අනුගත වන රටක් බවට ලංකාව පත් කරගත යුතුයි. මිනිස් ජාවාරම් වැළක්වීමට පියවර ගන්නා රටවල් අතර පළමු මට්ටමේ රටක් බවට පත්වීමට ලංකාවට හැකියාව ලැබෙනවා. ඒ ඉලක්කය කරා අපි යා යුතුයි. ඒ සදහා මිනිස් වෙළදාම වැළැක්වීම සදහා වන කාර්ය සාධක බලකාය සමග සමීපව කටයුතු කරනවා.‘

