මිනිසකුගේ දිවි බේරන්න වළසාට වෙඩිතැබූ තිදෙනකුගේ වැඩ තහනම්


(කාංචන කුමාර ආරියදාස)
 
වලස් ප්‍රහාරයකයට ලක් වු පුද්ගලයෙකුගේ  දිවි බේරා ගැනීම සඳහා වලසාට වෙඩි තැබූ බව පවසමින්  වනජීවී පශු වෛද්‍යවරියක සහ  වනජීවී දෙපාර්තමේන්තුවේ තවත් සේවකයින් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට ගෙන ඇති තීරණයට විරෝධය පල කරමින් වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25)  වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹි ඇත.
 

අනතුරු සහිත අවදානම් රාජකාරි  වලින් සම්පුර්ණයෙන්ම ඉවත් වු බව වනජීවී පශු වෛද්‍ය  සංගමයේ ලේකම් වෛද්‍ය නාලක කසුන් අබේවර්ධන මහතා පැවසීය.
 
දිගින් දිගටම වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්  මුහුණ දෙන අවදානම් තත්ත්වය පිළිබඳව රජය දැනුවත් කොට තිබියදීත් එසේ ම දරුණු සතුන් මෙල්ල කිරීම සහ සතුන්ට ප්‍රතිකාර කිරීමේ පහසුකම් ලබා නොදී අවසානයේදී  ගීරිතලේ ප්‍රදේශයේ වලසෙකුගේ ප්‍රහාරයකට  ලක් වෙමින් සිටි පුද්ගලයකු බේරා ගැනීමට නොහැකිවූ අවස්ථාවේදී එම පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමට මැදිහත්වූ වනජීවී පශු වෛද්‍යවරිය සහ වනජීවි දෙපාර්තමේන්තුවේ සේවකයන් ගේ වැඩ තහනම් කිරීම අසාධාරණ බව එම සංගමය පෙන්වා දෙයි.
 
මෙවැනි අවස්ථාවන්හි දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නීතියේ සඳහන්ව තිබෙන බවත් ඒවා සොයා බැලීමකින් තොරව මෙම ක්‍රියාමාර්ග ගැනීම නිසා අවදානම් රාජකාරියේ නිරතව තම ජීවිත අවදානමේ දමා ගැනීමට නොහැකි බවත් මෙවැනි තීන්දු තීරණ නිසා තම සංගමය බලවත් කලකිරීමට පත්ව තිබෙන බවත් සංගමය සඳහන් කළේය .
වන අලි ඇල්ලීම වන අලින්ට හඳුනාගැනීමේ පටි පැළඳවීම,  වලසුන් ඇල්ලීම මෙල්ල කිරීම ,  දීවියන් ඇල්ලීම මෙල්ල කිරීම ආදී සියලු අවදානම් රාජකාරිවලින් ඉවත් වන බවත් මෙම වැඩතහනමට ලක්වූ වෛද්‍යවරිය සහ සේවකයන්ට සාධාරනය ඉටුවනතුරු මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බව ද ලේකම්  අබේවර්ධන මහතා  පැවසීය.
 
වනජීවී පශු වෛද්‍ය වරුන්ගේ ඉල්ලීම් පිළිබඳව කිසිදු සොයාබැලීමකින් තොරව මෙම සිද්ධීන් සිදු වූ බවත් බලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබා දී තිබුණේ නම් මෙම සතුන් ආරක්ෂිතව ප්‍රතිකාර කටයුතු කිරීමට හැකියාව පවතින බවද ලේකම් මාලක අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.