මිගාර ජයසුන්දර සබරගමු සමන් දේවාලයේ නව බස්නායක නිළමේ


 

(අජිත්ලාල් ශාන්තඋදය සහ අප්සරා යෝසිත් විජේසුරිය)

සබරගමු මහ සමන් දේවාලයේ නව බස්නායක නිළමේවරයා ලෙස ජේ.එම්. මිගාර ජයසුන්දර මහතාත්  බලන්ගොඩ උග්ගල් අලූත්නුවර කතරගම දේවාලයේ නව බස්නායක නිළමේවරයා ලෙස ඩී.ඒ.එම්. උදය ඇමටියගොඩ මහතාත් අද (24)  පැවති නිලවරණයේ දී  නිතරගයෙන් තේරී පත්වූහ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතාගේ සහ රත්නපුර දිස්ත්‍රික්  ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී මෙම තෝරා පත්කර ගැනීම සිදුවිය.

රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස කටයුතු කළ කමල් නීල් සේනක රත්වත්තේ මහතාගේ නිලකාලය අවසන්ව තිබුණි. එසේම උග්ගල් අලූත්නුවර කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස කටයුතු කළ ජේ. එම්. මිගාර ජයසුන්දර මහතාගේ නිල කාලයත් අවසන්ව තිබුණි.

නව බස්නායක නිළමේ තනතුරු තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසුම අද  පෙරවරුවේ පැවති අතර එහිදී සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිළමෙ තනතුර සඳහා ජේ. එම්. මිගාර ජයසුන්දර මහතාගේ නම අම්මඩුව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඞී.ඒ.එම්. උදය ඇමටියගොඩ මහතා විසින් යෝජනා කරන ලැබීය. එය බොල්තුඹේ සමන් දේවාලයේ   බස්නායක නිළමේ සිසිර දිනේද්‍ර පරණගම මහතා විසින් ස්ථිර කරනු ලැබීය. 
 
වෙනත් කිසිවෙකුගේ නම් ඉදිරිපත් නොවුයෙන් ජේ.එම්.මිගාර ජයසුන්දර මහතා සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ තනතුර සඳහා වසර පහක නිල කාලයකට ජේ.එම්. මිගාර ජයසුන්දර මහතා තේරී පත්විය.
 

ඉන්පසු උග්ගල් අලූත්නුවර කුඩා කතරගම දේවාලයේ නව බස්නායක නිළමේවරයා ලෙස ඩි.ඒ.එම්. උදය ඇමටියගොඩ මහතාගේ නම ජේ.එම්. මිගාර ජයසුන්දර මහතා යෝජනා කළේය. බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිළමේ සිසිර දිනේද්‍ර පරණගම මහතා විසින්  එම යෝජනාව ස්ථිර කරනු ලැබීය. වෙනත් නම් ඉදිරිපත් නොවූ නිසා උග්ගල් අලූත්නුවර  කතරගම දේවාලයේ බස්නායක නිලමෙවරයා ලෙස ඩී.ඒ.එම්. උදය ඇමටියගොඩ මහතා ද නිතරගයෙන් තේරීපත්විය.

නව බස්නායක නිළමේවරුන් සම්බන්‍ධයෙන් එකදු හෝ විරෝධතාවක් වත් ඉදිරිපත් වූයේ නැත.