(අජිත්ලාල් ශාන්තඋදය)
මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගත් ශ‍්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් පිරිසක් යළි හමුවී ඇතත් මැලේරියා මර්දන කටයුතු සඳහා ලෝක පරිත්‍යාග නොලැබෙන බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය මදුනාත් මාරසිංහ මහතා පවසයි.
රත්නපුර ඩයමන්ඞ් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය මදුනාත් මාරසිංහ මහතා.
‘‘මැලේරියාව කියන්නේ වසංගත රෝගයක්. ලංකාවේ 80000 වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත්වෙලා තියනවා මැලේරියාව නිසා.අතීතයේ සමහර රාජධානි නැත්තටම නැතිවෙලා තියනවා මැලේරියාව නිසා. 1955ට පෙර මැලේරියාව නිසා අපි සෑහෙන්න බැටකෑවා. මිලියන 5.5ක් විතර මැලේරියාවෙන් පෙලූනා. අපේ රටෙන් මැලේරියාව තුරන් කරලා වසර පහක් වෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් 2012 අපේ රටට ඇවිත් ඒ අය කළ සොයා බැලීම් අනුව අපේ රට මැලේරියාවෙන් තොර රටක් ලෙස 2016 දී නම් කළා. ඒ නිසා දැන් මැලේරියා රෝගය මර්දනය කිරීම සඳහා දෙන ලෝක ආධාර අපට ඉදිරියේ දී ලැබෙන්නේ නැතුව යනවා.
නමුත් අපි මැලේරියාව මර්දනය කළත් පසුගිය වසරේ සිට යළිත් වරක් මැලේරියා රෝගීන් හමුවෙන්න පටන් අරං තියනවා. මධ්‍යම අප‍්‍රිකානු රටවල්, දකුණු සහ අග්නිදිග ආසියා රටවල්, දකුණු සහ ලතින් ඇමරිකානු රටවල තවමත් මැලේරියා වසංගතය තියනවා. ඒ රටවල යන එන අයගෙන් ප‍්‍රතිපෝෂකයා ලංකාවට ඒමේ අවදානම වැඩියි.
අපේ රටෙන් හමුවුණ මැලේරියා රෝගින් සම්බන්ධයෙන් සොයා බැලූවා. 2017 හමුවූ රෝගින් පනස් හය දෙනාගෙන් වැඩි ප‍්‍රමාණයක් බස්නාහිර පළාතෙන්. නමුත් ඊළඟට වැඩිම ප‍්‍රමාණය රත්නපුර දිස්ත‍්‍රික්කයෙන්. මැඩගස්කරයට සහ මොසැම්බික් වැනි රටවල මැණික් ව්‍යාපාරික කටයුතුවලට ගිය අයගෙන් රත්නපුරේට මැලේරියා ප‍්‍රතිපෝෂකයා ගෙනත් තියෙන්නේ. ඉන් හතර පස් දෙනෙකුට ඉතා අසාධ්‍ය වුණා.
ඉන්දියාවෙත් මැලේරියාව තියනවා. විශේෂයෙන් ඉන්දියාවේ වන්දනාවේ යන බැතිමතුන්ගෙනුත් මැලේරියා ප‍්‍රතිපෝෂකයා අපේ රටට එනවා. මැලේරියාව බෝකරන ඇනොපිල්ස් මදුරුවා අපේ රටේ ඉන්නවා. නමුත් මැලේරියා ප‍්‍රතිපෝෂකයා එසේත් නැත්නම් විෂබීජය අපි තුරන් කරලා තියෙන්නේ.
දැන් අපිට වෙලා තියෙන්නේ මැලේරියා වසංගතය තියන විදෙස් රටවලට යන එන ලාංකිකයන්ගෙන් සහ ඒ රටවලින් අපේ රටට එන පුද්ගලයන්ගෙන් සහ මැලේරියාව ඇති රටවලින් එන සරණාගතයන්ගෙන් මේ ප‍්‍රතිපෝෂකයා යළි රටට ඇතුලූවිය හැකියි යන අවදානමයි.
දැන් වෙලා තියෙන්නෙත් ඒක. කෝටි දෙකකට වැඩි ජනතාවක් ඉන්න රටක පනස් හය දෙනක් වැනි සුලූ ප‍්‍රමාණයක මැලේරියා රෝගින් සිටීම නොසලකා හැරිය යුතුයි කියලා කෙනෙකුට හිතේවි.
නමුත් විෂබීජය පැතිරෙන්න පටන් ගත්තොත් ඉතා ඉක්මනින් රටපුරා රෝගය පැතිර යන්නට හැකි අවදානම වැඩියි. එහෙම වුණොත් රෝග මර්දන කටයුතු වලට වියදම දරන්න වෙන්නේ රජයට. මැලේරියාවෙන් තොර රටක් ලෙස නම්කර ඇති අපේ රටට මැලේරියා මර්දනයට දෙන සහනාධාර ලෝකයෙන් නොලැබෙන නිසා.
මැලේරියාව බෝකරන ඇනොපිල්ස් ස්ටීවන්සන් කියන මදුරුවා මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත‍්‍රික්ක වලින් හමුවෙලා තියනවා. නමුත් මේ මදුරුදුවාගේ ප‍්‍රතිපෝෂකයින් හෙවත් විෂබීජ නෑ. නමුත් ප‍්‍රතිපෝෂකයා ඇතිවුණොත් නාගරික මැලේරියාවත් පැතිර යා හැකියි.
ඒ නිසා මැලේරියාව තියන රටවලට යන සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගෙන් අපි ඉල්ලන්නේ මැලේරියාව වැළඳීම වැළැක්වීමට ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය මගින් ඔබට නොමිලේ දෙන ඖෂධ මාත‍්‍රාව ලබාගන්න කියලයි.
දෙවැන්න ඒ ඖෂධ එහෙදි පාවිච්චි කරන්න. තුන් වැන්න ඒ රටවල දි සවස් කාලයේ අත්දිග ඇඳුම් වැනි ශරීරයේ වැඩි කොටසක් වැසෙන ඇඳුම් අඳින්න. සිව්වැන්න නම් රාත‍්‍රීයේ නිදනවිට මදුරු දැලක් භාවිතා කිරීමයි.
තුරන් කළ මැලේරියාව යළි ඇති නොවන තැනට වගබලා ගැනීම ජනතාවක් ලෙස අපිට ලොකු වගකීමක් තියනවා. දැන් ඖෂධ නිකුත් කරන්නේ කොළඹ ජාතික මැලේරියා මර්ධන මූලස්ථානයෙන්. ඊට අමතරව මැලේරියා මරදන ව්‍යාපාරයට අයත් ප‍්‍රාදේශීය කාර්යාල හරහාත් ඖෂධ ලබාගත හැකියි.‘‘