මැරෙන නය නො ඇඳින
කොලහල කරති පුහුදන
මරණ නියතය දැන
වරති කොලහල දනෝ සනුවණ
( කොසඹෑ නුවර හිමිවරුන් වෙනුවෙනි)
ගී පබැඳුම - තිලක් නවරත්න
01. යමක වග්ගෝ
06. පරේච න විජානන්ති මයමෙත්ථ යමාමසෙ
යෙ ච තත්ථ විජානන්ති තතො සම්මන්ති මෙධගා
නිදාන කතාව
වැසිකිළියේ රණ්ඩුව
කොසඹෑ නුවර ඝෝසිත නම් අරමුක් තිබුණා. ඒ අරම තනා සඟසතු කෙළේ ඝෝසිත සිටුවරයා. හේ සැදැහැවත්. දානසීලී යි. ඝෝසිතාරාම වාසී ව පන්සියයක් හිමිවරුන් වැඩසිටියා.විනය මැනැවින් දන්නා පන්සියයක් විනයදරයෝ. දහම මැනැවින් දන්නා පන්සියයක් ම දම්මකතිකයෝ.
අත්පස්ගෙය හෙවත් වැසිකිළියේ දිය බඳුන මුනින් නොනැමීම විනය වරදක්.
දම්ම දර හිමිනමක අතින් අත්වැරැද්දක් වුණා. දිය බඳුනේ දිය ඉතිරි ව තිබිය දී එය මුනින් තබා නො ආ වැරැද්ද විනය දරයන් විසින් පෙන්නා දුන්නා. දම්මදර තෙර රැහැණි වුණා. අසමගිය ඇරැඹුණා.විනයදර දම්මකතික දෙපිරිස අසමඟි ව බේද වුණා.
බුදුරදුන් විසින් තුන්වන වරට ද කළ අවවාද පිළිගන්නට දෙ පිරිස ම මැළි වුණා. පළක් වුණේ ම නෑ. කලහය නොනිවෙන වග ම දුටුවා.බුදුරදුන් හුදකලාව මැ වනගත වැ වදාළා.
පාරිලෙයියක වනයේ ඇත්රදුන් ගේ උවටැන් ද ඇති ව බුදුන් වැඩවිසුවා.ඇතුන් ගේ පලවැළත්, උණු පැනුත් අනෙක් පහසුකමුත් අඩු නැතිව සැලසුණා.
අසමගියදුටු ගම්මුන් ආරාම වාසීනට දාන-මාන ද වැඳුම්-පිදුම් ද නවතා දැමුවා.පසු ව විනයදර-දම්මකතිකදෙ පිරිස් අවවාද ඉවසා සමඟි වුණා. කලහය නිම වූවා.කලහ නොකිරීමේ අනුහස් සිරිමුවින් වදාළා.