(ඩයනා උදයංගනී)
නිරිත දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති වැසි තත්ත්වය මෙම මස අවසානය දක්වාම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දැනට පවතින වැසි තත්ත්වයේ සුළු අඩුවීමක් හෙට (22) දිනයේදී බලාපොරොත්තු විය හැකි නමුත් යළිත් 23 - 24 දිනවල තද වැසි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල ද පස්වරු 2. 00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු ස`දහන් කළේය.
ඇතැම් ස්ථානවලට මිලි මීටර 150 පමණ වැසි ඇතිවිය හැකි බවද මෙරිල් මෙන්ඩිස් මහතා කීවේය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල ද තද වැසි හෝ සුළං ඇතිවන අතර එම මුහුදු ප‍්‍රදේශයන්හි පැයට කිලෝමීටර 70 80 පමණ වේගවත් ඉතා තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එබැවින් එම මුහුදු ප‍්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි නිසා ධීවර හා නාවික කටයුතුවලදී විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එම ප‍්‍රකාශකයා පැවසීය.
මේ අතර අද (21) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ ඇතැම් ප‍්‍රදේශයන්ට මිලිමීටර 300 ඉක්මවා වැසි ලැබී තිබිණි.
වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 353. 8 ක වර්ෂාපතනයක් පුත්තලම දිස්ත‍්‍රික්කයේ ආණමඩුව ප‍්‍රදේශයෙන් වාර්තා වී තිබිණි.